බන්ධනාගාර සිරකරු ඝාතන නඩුව විභාගයට දින නියමවේ

ඔක් 10, 2019

    2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරා දැමූ බවට චෝදනා ලබා සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවාට එරෙහි නඩුව 14 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (10) නියෝග කළේය.

    නඩුව ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීණ.

    මෙම නඩුව ඔක්තෝබර් 14 වනදා සිට විභාගයට ගැනීමට දින නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කළේය. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කරනු ලැබ සිටින නියෝමාල් රංගජීව සහ එමිල් රංජන් ළමාහේවා ඇප මත මුදාහැර සිටිති.

    2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතර තුර ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33 ක් යටතේ නීතිපති විසින් මෙම නඩුව විත්තිකරුවන් ත්‍රිදෙනාට එරෙහිව පවරා තිබේ.

    මෙම සිද්ධියේදී මරණයට පත් වූ රැඳවියන් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අය බව නීතිපති ගොනු කළ අධිචෝදනා වල සඳහන් වේ. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි මතභේදයට තුඩු දුන් මෙම නඩුව ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සුදුසු බැවින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

    ඒ අනුව නඩුව විභාග කිරීම සඳහා මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අගවිනිසුරුවරයා විසින් පත්කොට ඇත.

     

     

     

    Latest News