ජනපතිවරණ නාම යෝජනා එපා කිව් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

ඔක් 04, 2019

    ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කෙරේ.

    ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කරණු ලැබිණ. පෙත්සම විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැඳවනු ලැබුවේය.

    මෙම කරුණට අදාළව අලුත් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය රඳවාගනිමින් වර්තමානයේ ගොනුකර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය විහිළුවට නොගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා පෙත්සම්කාර පර්ශවයේ නීතිඥවරයාට තරයේ අවධාරණය කළේය. අධිකරණයට පැමිණ වගකීමකින් තොරව සිදුකරන මෙවැනි විහිළු ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බව විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අවධාරණය කර සිටියේය. ඊයේ පස්වරුවේ මෙම පෙත්සම ගොනුකර කරුණු තහවුරු කිරීම සඳහා අද අධිකරණය කැඳවා තිබියදී මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ගැටලුසහගත බවත් මෙවැනි ක්‍රියාවන් අනුමත කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුනී.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

    පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර තිබේ. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ වසර හයක ධුර කාලයක් සඳහා බව පෙත්සම්කරු කියා සිටි.

    ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5ක් ගෙවුණු විගස ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ අනුව නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 7 වනදා සිදුකිරීමට නියමිත බව කියා සිටියේය.

    මැතිවරණ කොමිසමේ මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු ඒ අනුව ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබුණි. ජනාධිපතිවරණය සඳහා ලබන 07 වනදා නාමයෝජනා පත්‍ර භාර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණ.

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 12:43

    Latest News