අභ්‍යන්තර ගුවන්ගමන් සඳහා විදෙස් ගුවන් සමාගම් වලට අවසර

ඔක් 04, 2019

    මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් සඳහා විදෙස් ගුවන් සමාගම්ව වලට අවසර හිමිවන කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.

    ශ්‍රී ලංකාව විසින් වෙනත් රාජ්‍යයන් සමඟ ඇති කරගෙන තිබෙන ගුවන් සේවා ගිවිසුම් මඟින් ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමේ හිමිකම ද්විපාර්ශ්වික පාර්ශ්වකාර රාජ්‍යයේ ගුවන් සේවා සමාගම් වෙත මෙතෙක් ප්‍රදානය කර නොමැත.

    ඒ අනුව දේශීය ගුවන්සේවා ක්ෂේත්‍රයේ පුනරුදයක් අරමුණු කර ගනිමින්, අභ්‍යන්තර ගුවන් ප්‍රවාහන හිමිකම් සහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් තොටුපොළ අතර ගුවන් ගමන් මෙහෙයවීම පිළිබඳ උනන්දුවක් දක්වන ගුවන් සේවා සමාගම්වලට වලංගු කාලසීමාව අවුරුද්දක් වන තාවකාලික මෙහෙයුම් බලපත්‍රයක් යටතේ, අභ්‍යන්තර ගුවන් ප්‍රවාහන හිමිකම් ප්‍රදානය කිරීමට අවසර හිමි වනු ඇත.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත බලය පැවරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    ඒ අනුව මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, රත්මලාන සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර පමණක් වාණිජ ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට විදේශ ගුවන් සේවා සමාගම්වලට අවසර හිමි වනු ඇත.

    Latest News