පූජිතට හා හේමසිරිට එරෙහි පෙත්සම් 12ක් විනිසුරු 7ක් ඉදිරියේ විභාගයට අවසර

ඔක් 02, 2019

    ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පාර්ශව කීපයකට එරෙහිව විවිධ පාර්ශව විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාගයට ගැනීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද අවසර ලබා දුන්නේය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

    ඒ අනුව අදාළ පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ විශේෂ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එම පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 8 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.

    එම විරෝධතා වලට අදාල ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා දෙසැම්බර් මස 6 වන රට පෙර ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ සත් පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් පිළිබඳ විභාගය ජනවාරි මස 20, 21 සහ 22 යන දිනවල පවත්වන බව නියම කළේය.

    අදාළ ප‍්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැළි ව්‍යාපාරික ජනත් විදානගේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, හෙන්රි මේරියන් අශෝක් ස්ටීවන්, සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප‍්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා, නාගානන්ද කොඩිතුවක්කු, ජූඞ් පෙරේරා, නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක්ද, පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමි සහ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීම් වලින් තුවාල ලැබූ නීතිඥවරයෙකු වන මුදිත ඒකනායක මහතා ඇතුළුු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.

    බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දිසානායක සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 10:47

    Latest News