”අස්ගිරි මහා විහාරය සහ 1818 පළමු නිදහස් සටන” ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය එළි දකී (වීඩියෝ)

සැප් 30, 2019

    බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව 1818 දී දියත් කළ පළමු නිදහස් සටන යළි ආවර්ජනය කරමින් සම්පාදිත ”අස්ගිරි මහා විහාරය සහ 1818 පළමු නිදහස් සටන” ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (30) පස්වරුවේ මහනුවර අස්ගිරිය පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි.

    පළමු විමුක්ති සටනෙහි වැදගත්කම සහ එම නිදහස් සටනට අස්ගිරි මහා විහාර පාර්ශ්වීය ස්වාමීන් වහන්සේලා විසින් ලබාදුන් දායකත්වය ඇසුරින් සම්පාදනය කර ඇති මෙම ග‍්‍රන්ථයේ සංස්කාරකවරුන් ලෙස ශාස්ත‍්‍රපති පූජ්‍ය ඇටිපොළ මහින්ද හිමි, දර්ශනපති පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාමහිමි, රාජකීය පණ්ඩිත පූජ්‍ය ඇහැලේපොළ මහින්ද හිමි සහ ආචාර්ය අජිත් තල්වත්ත මහතා කටයුතු කර තිබේ. පළමු නිදහස් සටන පිළිබඳ ඓතිහාසික මූලාශ‍්‍ර ඇසුරින් සොයා ගත් දැනුම පදනම් කරගෙන නිදහස් සටන හා සම්බන්ධ සියලූ අංශ ඇතුළත් වන පරිදි මෙම ග‍්‍රන්ථය සම්පාදනය කර ඇති අතර එය ජාතික හා ශාසනික වශයෙන් වැදගත් ප‍්‍රයත්නයක් ලෙස ද හැඳින්විය හැක.

    තීරණාත්මක අවස්ථාවන්හි දී අස්ගිරි මහා විහාරය නිසි තීරණ ගැනීමට කැප වූ පූජ්‍ය ස්ථානයක් වන අතර ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ස්වදේශික චින්තනයේ පළමු ක‍්‍රියාත්මකවීම සිදු කළේ ද එවක අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය හෙබවූ පූජ්‍ය වාරියපොළ ශ‍්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ විසිනි. අද පස්වරුවේ අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන නායක ස්වාමින් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.

    ඉන් අනතුරුව ග‍්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ අතර පළමු නිදහස් සටනේ සිට මේ දක්වා අප රටේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරිත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලූ විරෝධාර රණවිරුවන් සිහි කිරීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරිණි. උත්සවයේ මුලසුන දේශනාව අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කළ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක මහතා උත්සවයේ විශේෂ දේශනය සිදු කරන ලදී.

    අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය. මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින්වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක දර්ශනපති පූජ්‍ය ආණමඩුවේ ශ‍්‍රී ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත කිර්ති තෙන්නකෝන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන් ප‍්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 20:33

    Latest News