ශ‍්‍රීලනිපයේ ප‍්‍රතිපත්තියට හා දර්ශනයට හානිවන කිසිදු වැඩපිළිවෙළකට එළැඹෙන්නේ නැහැ -ජනපති (වීඩියෝ)

සැප් 29, 2019

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ සමඟ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවට එකඟ වන්නේ නම් පමණක් බව ජනාධිපතිතුමා පවසයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තියට දර්ශනයට හානිවන හෝ පාක්ෂිකයින්ට අනාගතයක් අහිමිවන කිසිදු වැඩපිළිවෙළකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹීමට සූදානම් නොමැති බව ජනාධිපතිතුමා අවධාරණය කළේ අද (29) පස්වරුවේ පැවති කුරුණෑගල දිස්ති‍්‍රක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ ද නොයෙක් අවස්ථාවල පසුබෑමට ලක්වුව ද පක්ෂය කිසිදා මිය නොගියේ එහි ජනතාවාදී වැඩපිළිවෙළ නිසා බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද දුර්වල වී ඇති බවට කවුරුන් කෙසේ කීව ද ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත්වීමට කුමන අපේක්ෂකයෙකුට වුව ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිතුමා ඊළග ජනාධිපතිවරයා පත් වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව බව කිසිවෙකු අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉලක්කය වන්නේ අද තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ඉදිරියේ දී බලතල නැති ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට වඩා බලතල ඇති ආණ්ඩුවක් පත්කර ගැනීම සඳහා 2020 දී පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම බවයි. තනිව නොව පෙරමුණු ආණ්ඩුවක් තුළ එම ඉලක්කය ජය ගැනීමට සැලසුම් සහගතව කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා දූෂිත ප‍්‍රභූ පංතියේ එකතුව විසින් විනාශ කර දමා තිබෙන මාතෘ භූමිය නව මගකට යොමු කරමින් දුෂණයෙන් වංචාවෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් සමාජයක් සහ කිසිදු විදේශ බලවේගයකට ගැති නොවන රටක් ගොඩනැඟීමට නව ආණ්ඩුවෙන් කටයුතු කරන බවද කියා සිටියේ ය.

    වත්මන් ආණ්ඩුව තුළ අද පවතින ගැටුම අග‍්‍රාමාත්‍යවරයා හා තමා අතර පවතින පුද්ගලික ගැටුමක් නොව දූෂණයට සහ වංචාවට විරුද්ධව තිබෙන ගැටුමක් මෙන්ම අන්ත දූෂිත නව ලිබරල්වාදී දේශපාලන ප‍්‍රතිපත්තියක් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ ජනතාවාදී දේශපාලන ප‍්‍රතිපත්තිය අතර තිබෙන ගැටුමක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. අග‍්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යධූරයට පත් කිරීමට තමා කටයුතු කළ ද, ඔවුන් භාරගත් කාර්යය නිසිලෙස ඉටුකර ගැනීමට ඔවුන්ට නොහැකිවීම තමාගේ ගැටලූවක් නොවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අද මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකධූරයේ කටයුතු කරන්නේ ද, පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුවේ රැදී සිටින්නේ ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා කථානායකවරයා වෙත ලබාදී ඇති ලිපියෙන් බව ද සිහිපත් කර සිටියේය.

    අශිලාචාර දේශපාලන චෝදනාවකට ලක් නොවු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී පක්ෂයේ අනන්‍යතාවය, ගෞරවය සහ අභිමානය රැක ගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් වූ සේවයට කැපවන බව ද ජනාධිපතිතුමා සම්මේලනය අමතමින් වැඩිදුරටත් අවධාරණය කළේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන දිස්ති‍්‍රක් සමුළු මාලාවේ කුරුණෑගල දිස්ති‍්‍රක් සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද (29) පස්වරුවේ හෙට්ටිපොළ මහජන පොළ භූමියේ දී පැවැත්විණි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඇතුළු ආණ්ඩුකාවරුන් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැසක් මීට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 16:27

    Latest News