අරමුණ ඉතා ප්‍රශස්තයි: කොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහල පවරා ගැනීම කඩිනම් කරන්න

සැප් 27, 2019

    නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ක්‍රමවත් සිදු කිරිම අවශ්‍ය බව ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

    රෝගීන් වෙනුවෙන් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අරමුණ ඉතා ප්‍රශස්ත හා ප්‍රශංසනීය බව එම කොමිසමේ සභාපති ප්‍රමුඛ සාමාජික මණ්ඩලය සදහන් කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම පිළිබද කෙරෙන විමර්ශනයකට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය 24 වැනිදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටියේය.

    නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, කොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහල නමින් රජයට පවරා ගැනීම සදහා 2019 අගෝස්තු 13 වැනිදා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. එ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවූ බව ඔහු සඳහන් කර තිබේ. එ අනුව කොමිෂන් සභාව විසින් කැබිනට් ලේකම්වරයාට නියෝග කර ඇත්තේ කැබිනට් පත්‍රිකාව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසයි. ඊට පසු දින (25) කැබිනට් ලේකම්වරයා නියෝජනය කරමින්, කැබිනට් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජූඩ් නිලුක්ෂාන් මහතා කොමිෂන් සභාවට අදාළ අනුමත කරන ලද කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

    කොමිසමේ සභාපති, හිටපු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා......

    කොමිසමේ සභාපති, හිටපු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රමුඛ සාමාජික මණ්ඩලය සදහන් කළේ රෝගීන් වෙනුවෙන් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අරමුණ ඉතා ප්‍රශස්ත හා ප්‍රශංසනීය බවයි.  නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් සේවා ලබා ගෙන ඇති බවත්, එය ඉතා හොද රෝහලක් බව කොමිසමේ සභාපතිවරයා සදහන් කර ඇත. රෝහල ක්‍රමවත්ව රජයට පවරා ගැනීම අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කර තිබේ. අදාළ පවරා ගැනීම් පටිපාටියට නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව කටයුතු කළ හැකි බවටත් දැනුම් දිනි.

    නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ල පවරා ගැනීම.....

    2017 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය ලිපියක් මගින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ට දැනුම් දී ඇත්තේ කැබිනට් පත්‍රිකාවක් මගින් පවරා ගැනීම කළ හැකි බවයි. පසුගිය වසර 4ක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අමාත්‍යංශ ලේකම්වරු 5 දෙනෙකු සිටිම ගැටලු සහගත තත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටි.

    2017 අගෝස්තු සිට 2019 අගෝස්තු දක්වා වසර 2ක් තුළ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සංඛ්‍යාව 495,000ක්. ඒ අතර බාහිර රෝගී අංශයෙන් රෝගීන් 173,185ක්, ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයෙන් රෝගීන් 31,888ක්, නේවාසික රෝගීන් 34,352ක් සහ පෞද්ගලික වෛද්‍ය හමු 86,010ක් ඇතුළු නොමිලේ ප්‍රතිකාර සේවා ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    මෙම කාලය තුළ රජයෙන් අමතර වියදමක් දරා නොමැති අතර සියලු වියදම් ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම සදහා පමණක් සිදු කර ඇත. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට හෝ ඔහුගේ ණය පිය වීමක් හෝ පවරා ගැනීම සදහා කිසිදු ගෙවීමක් සිදු කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ අධ්‍යක්ෂ ජනරාල් (මුදල්) විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2019 12:38

    Latest News