ලෝක සංචාරක දිනය අදයි (27)

සැප් 27, 2019

    සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට හේතුවන නව වැඩසටහන් කීපයක් ලෝක සංචාරක දිනය නිමිත්තෙන් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සූදානම්.

    එයින් එක වැඩසටහනක් නම් සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා වෙළෙඳ පොළක් පැවැත්වීමයි. ලෝක රැකියාලාභීන් අතරින් සියයට 10 ක ප්‍රමාණයක් අයත්වන්නේ සංචාරක කර්මාන්තයට යැයි සංචාරක රැකියා වාර්තා කියයි. මේ ක්ෂේත්‍රයේ විවිධ වූ රැකියා අවස්ථා නිර්මාණ වෙමින් තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතනයක් වූ ලෝක සංචාරක සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ප්‍රධාන උත්සවයේ සත්කාරක රට ඉන්දියාවයි.

    ලෝක සංචාරක කර්මාන්තය ආර්ථික, සමාජික සහ සංස්කෘතික වර්ධනයට විශාල මෙහෙයක් ඉටු කරයි.

    එම නිසා ලෝක සංචාරක දිනයක් ලොව පුරා පවත්වා සංචාරක කර්මාන්තයේ වැදගත්කම ලොවට විදහා දැක්විය යුතුය යනුවෙන් ගත් තීරණය ක්‍රියාත්මක කරමින් ලෝක සංචාරක දිනයක් ප්‍රථමවරට පවත්වන ලද්දේ 1980 දීය.

    එදා සිට අද දක්වා සැම වසරකම සැප්තැම්බර් 27 වැනි දින සංචාරක දිනය ලෙස සලකමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    1980 ආරම්භක සංචාරක දිනයේ තේමාව වූයේ සංස්කෘතික උරුමයන් රැක ගැනීම සාමය සහ අවබෝධය වර්ධනයට සංචාරක කර්මාන්තයේ දායකත්වය යන්නයි.

    2019 අගෝස්තු මාසයේ සංචාරක ආදායම ඇ.ඩොලර් දසලක්ෂ 269.5 කි. එහෙත් ඊට වඩා වැඩි ආදායමක් ලෙස ඇ.ඩොලර් දස ලක්ෂ 376.1 ක් 2018 වසරේදී උපයාගත් බව මහ බැංකු වාර්තාවන්හි සඳහන්වේ. තවදුරටත් එම වාර්තා පවසන අන්දමට 2018 ජනවාරි - අගෝස්තු කාල පරාසය තුළ ඇ.ඩොලර් දසලක්ෂ 2971 ක විදේශ ඉපැයීම් ලැබුණ ද, 2018 ට සාපේක්ෂව 2019 දී එම කාලපරාසය තුළ ලබා ඇත්තේ ඇ.ඩොලර් දසලක්ෂ 2379 ක ආදායමකි.

     

    Latest News