පෙනහළු බද්ධ කිරීමේ සැත්කම් කඩිනම් කරනවා; අමාත්‍ය රාජිත

සැප් 26, 2019

    පෙනහළු බද්ධ කිරීමේ සැත්කම් කඩිනමින් ආරම්භ කරන බව, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව අවයව බද්ධ කිරීමේ ක්‍ෂේත්‍රය තුළ ශීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි. කොළඹ ඊයේ සවස පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි වෛද්‍ය රිලා ආයතනය හා වෛද්‍ය මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාවයේ දසවැනි සංවත්සරය නිමිත්තෙන් මෙය සංවිධාන කර තිබිණ. උත්සවය පැවැත්වුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉන්දියාවේ රිලා වෛද්‍ය මධ්‍යස්ථානයේ සභාපති, මහාචාර්ය මොහොමඩ් රිලා මහතා ඇතුළු දූත පිරිසක් ද මීට එක්වූහ. මහාචාර්ය මොහොමඩ් රිලා මහතා සැලකෙන්නේ අක්මා බද්ධ කිරීමේ ක්‍ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයෙකු ලෙසයි. ඔහු සාර්ථකව සිදුකර ඇති සැත්කම් සංඛ්‍යාව 4,000කට අධිකවේ.

    ඉකුත් වසර 10 තුළ ශ්‍රී ලංකාවේ රෝගීන් දෙසිය දෙනෙකුගේ පමණ ද සැත්කම් සිදුකර තිබේ. මිල අධික අක්මා බද්ධ කිරීමේ සැත්කම් මෙරට රජයේ රෝහල්වල නොමිලයේ සිදුකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. හදවත් සැත්කම් සඳහා නොමිලයේ ස්ටෙන්ට් සහ අක්‍ෂි කාච ලබාදීම, ඖෂධ 75ක පාලන මිලක් ඇති කිරීම ඇතුළු සහන රැසක් වත්මන් රජය ජනතාවට ලබාදී ඇතැයි ද ඔහු කියා සිටියේය. මහාචාර්ය මොහොමඩ් රිලා මහතා ප්‍රකාශ කළේ, අක්මා බද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බවයි.

    Latest News