ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිලට විදේශ ගත වීමේ තහනමක්

සැප් 25, 2019

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදුව ඇතැයි සඳහන් දූෂණ වංචා සම්බන්ධ විමර්ශනයකට අදාළව එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ හා ඔහුගේ බිරිඳගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කරයි.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බඳ සහිත නව ගුවන් යානා ඇණියක් ප්‍රතිශ්ටාපනය කිරීමේදී සිදුව ඇති දූෂණ හා වංචා සම්බන්ධයෙන් විමර්ශනයක් මේවන විට සිදු කෙරේ. ඒ සඳහා සහාය වීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා වන කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳගේ විදේශ ගමන් මෙසේ තාවකාලිකව අත්හිටුවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කර තිබේ.

    කපිල චන්ද්‍රෙස්න මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විධායක නිලධාරිය ලෙස කටයුතු කර ඇත.

    මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය කොට්ඨාසය විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලිමෙන් අනතුරුවයි.

    පසුගිය රජය සමයේ සිදුව ඇති බව කියන මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවත් ඒ සදහා හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳගේ හැදුනුම්පත් දෙකට අදාළ සියලුම බැංකු ගිණුම් වාර්තා සහ එම ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම බැංකුවල කළමනාකාරිත්වයට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සියලුම බැංකු වෙත එම නියෝගය නිකුත් කර තිබේ.

    එමෙන්ම එම ගුවන් යානා ගෙන්වීමට මැදිහත් වූ පාර්ශ්වයන් වන රෝල්ස් රොයිස් සමාගම, එයාර් බස් සමාගම සහ ඊට සබැඳි අනෙකුත් සමාගම් සිදු කරන ලද ගිණුම්, ලේඛන, අත්සන්, කාඩ්පත් අංක ඇතුලු සියලු වැදගත් ලියකියවිලි සූරක්ෂිතව තබන ලෙසත් ඒවා සම්බන්ධයෙන් එම සමාගම්වල නිලධාරින්ට ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියෝග කරන ලෙසත් රහස් පොලීසිය අධිකරණයෙන් කර ඉල්ලීමටද මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇත.

    2018-08-03 රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ජේ. සී. වැලිඅමුණ වාර්තාවට අනුව සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා ගෙන් සිදු කළ ඉල්ලීමට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර සිද්ධියට අදාළව විමර්ශන පවත්වා ප්‍රගතිය වාර්තා කරන්නැයි දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා එතෙක් නඩුව බහා තබන ලෙස නියෝග කළේය.

    Latest News