දින 180ට වැඩි සේවකයින්ට ස්ථිර පත්වීම්

සැප් 18, 2019

    සේවා අවශ්‍යතා මත රාජ්‍ය ආයතනයන්හි ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලිකව, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන දින 180කට වඩා සේවය කර ඇති සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව අවශ්‍ය සුදුසුකම් සැප්තැම්බර් පළමු වැනි දිනට සම්පූර්ණ කිරීම මත අදාළ තනතුරුවලට ස්ථිරව විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීම සිදු කෙරෙනු ඇත. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරුන් විසින්. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 හා 25/2014 (1) නිකුත් කරන ලද අවස්ථාවේදී එම චක්‍ර ලේඛයන්හි අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබා ගැනීමට නොහැකි වූ සේවකයින්ට මෙන්ම, චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප්‍රාථමික ශ්‍රේණියේ සේවකයින් ද මේ යටතේ ස්ථිර කිරීමට නියමිතයි.

    සැප්තැම්බර් 28 වැනිදාට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව 15 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා කාලය තොරතුරු මාසය ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ යටතේ, එම කාලය තුළ පනත ආශ්‍රිත ක්‍රියාකාරකම්හි යෙදීමට සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබාදීමට චක්‍රලේඛයක් නිකුත් කිරීමටත්, සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි සිවිල් පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධාන කිරීමටත්, මෙමගින් යෝජිතයි. “ගමට තොරතුරු අයිතිය“ මැයෙන් ආර්.ටී.අයි ජංගම සේවාවන් තෝරාගත් දිස්ත්‍රික්ක 5ක ක්‍රියාත්මක කිරීමට ද මෙමගින් අනුමැතිය හිමිව තිබේ. මෙය, අමාත්‍ය මණ්ඩලයේ නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් වේ.

    Latest News