ජනාධිපතිවරණ විභාගයට මුහුණදීමේ අභියෝගය බාරගන්නවා; අමාත්‍ය සජිත්

සැප් 13, 2019

    ජනතාව ඉදිරියේ පවත්වන, ජනාධිපතිවරණ විභාගයට මුහුණ දීමේ අභියෝගය කිසිදු බියක් නොමැතිව තමන් බාරගන්නා බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, කුරුණෑගල ඉදි කෙරුණු උදාගම්මාන කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඒවා ඉදිකර තිබේ. මෙසේ ජනතා අයිතියට පත් කෙරු‍ණේ 279,280, සහ 281 වැනි ආදර්ශ ගම්මානයි. කුරුණෑගල, වාරියපොළ නරමාන ප්‍රදේශයේ ඉදි කළ “නවන්ගම“ කුරුණෑගල කොටවෙරෙහ මහමිතව ඉදිකළ “මෙත්සිරිගම“ සහ “කවිමිණිගම“ යන ආදර්ශ ගම්මාන ජනතා අයිතියට පත් කෙරුණේ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. නිවාස 67කින් සමන්විත මෙම උදාගම්මාන ඉදිකිරීමට වැය කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 843ක්. සමාජ සුබසාධන කටයුතු රැසක් ද අමාත්‍යවරයා අතින් එහිදී සිදු කෙරුණ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.

    “අද ක්‍රමක් ක්‍රමයෙන් අපි ළංවෙමින් පවතිනවා ජනාධිපතිවරණයට. රටේ ජනතාව තීන්දු කරන්න ඕනේ අපේ රටේ අනාගත ගමන පිළිබඳව. සජිත් ප්‍රේමදාසත් නිකං ප්‍රේමදාසගේ පුතා කියාගෙන නෙමෙයි, අද රට ඉදිරියේ මේ මහා අභියෝගයට ඉදිරිපත් වෙන්න හදන්නේ. අපි දිවා රෑ නොබලා වැඩ කරලා තියෙනවා. ශක්ති සම්පන්න, ඇස් දෙකට පෙනෙන, කන්වලට ඇහෙන, හදවතට දැනෙන ජනතා සේවාවක් අපි ඉෂ්ඨ කරලා තියෙනවා. මොනම දවසකවත් හිතාදර මිත්‍රවරුනි ජනතාව ඉදිරියේ පවත්වන ජනාධිපතිවරණ විභාගයට මුහුණ දෙන්නට සජිත් ප්‍රේමදාස කිසිසේත්ම පැකිලෙන්නේ නැහැයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ නිසා හිතාදර මිත්‍රවරුණි මම නම් බය නැහැ අභියෝග බාරගන්න. මම බයනැත්තේ මම දන්නවා මේ රටේ සාමාන්‍ය ජනතාව හිතන්නේ, පතන්නේ, විශ්වාස කරන්නේ පොඩි මනුස්සයා රජ කරවන යුගයක් මේ රටේ බිහිකරන්න. ඒ යුගය සජිත් ප්‍රේමදාස බිහිකරන්න ලැහැස්තියි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    Latest News