කිසිඳු දරුවෙකු අත නොහරින 13 වසරක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය මම බිහි කළා.... අගමැති රනිල්

සැප් 12, 2019

    අධ්‍යාපනය දියුණු කරන බවට පොරොන්දු ලබාදෙන පිරිස්, බලයේ සිටි කාලයේ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු නොකළේ ඒ සඳහා ඔවුනට දක්‍ෂතාවක් නොතිබූ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) මන්නාරම දී පැවසීය.

    අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක අගයක් දක්වා ඉහළට ගෙන ඒම තම ඉලක්කය බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනට සිදු කර තිබෙන දියුණුවට වඩා වැඩි දියුණුවක් තමන්ට සිදු කළ හැකි බවට කවුරුන් හෝ පවසනවා නම් ඒ සම්බන්ධයෙන් ඔවුන් සමඟ වාද කිරීමට ද තමන් සූදානම් බව පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මන්නාරම, ඉරුක්කලම්පිඩි මුස්ලිම් මහා විද්‍යාලයේ නව තාක්‍ෂණ ගොඩනැගිල්ල සහ නව ක්‍රීඩා ප්‍රේක්‍ෂකාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.........

    “අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදලක් වැය කළ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වීම පිළිබඳව මම ආඩම්බර වෙනවා. අප බලයට පත් වන විට සැමට සමාන අධ්‍යාපන අවස්ථා හිමිවී නොතිබූ අතර තමන් කැමැති අංශයක් ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට පාසල් දරුවන්ට අවස්ථාව ලැබුණේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව 50% ක පමණ දරුවන් පාසල් අධ්‍යාපනයෙන් බැහැර වෙනවා. ඒ නිසා එම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මම අලූත් සංකල්පයක් ඉදිරිපත් කළා. ‘කිසිඳු දරුවෙකු අත නොහරින 13 වසරක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය’ වශයෙන් එම සංකල්පය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා දැන් ක්‍රියාත්මක වෙනවා.

    අධ්‍යාපනය දියුණු කරන බවට ඕනෑම අයෙකුට ප්‍රකාශ කළ හැකියි. බලයේ සිටින අවස්ථාවේ අධ්‍යාපනය දියුණු නොකළේ ඇයි දැයි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. අධ්‍යාපනය දියුණු කිරීමට අවස්ථාව තිබිය දී ඔවුන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. අධ්‍යාපනය දියුණු කිරීමට දක්‍ෂතාවක් ඔවුන්ට තිබුණේ නැහැ. අධ්‍යාපනය පිළිබඳව දැන් කොතරම් ප්‍රකාශ සිදු කළත් ඉන් කිසිඳු ප්‍රයෝජනයක් වන්නේ නැහැ. කිසිඳු දරුවෙකු අත්නොහරින වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන්නේ අපට පමණක් බව සඳහන් කළ යුතුයි.”

    මෙම අවස්ථාවට මහා සංඝ රත්නය, අන්‍යාගමික නායකයින්, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, විද්‍යාලයීය විදුහල්පති එන්.එම්. ෂාෆි, ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍යයින්, පාසල් සිසු සිදුවියන් සහ දෙමව්පියන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

     pmranilmannara1 px 900 19 0

    Latest News