'දියකාවා' හේතුවෙන් මහනුවරට දැඩි ආරක්ෂාවක්

සැප් 09, 2019

    මහනුවර දිස්ත්‍රික්කය අවට ස්ථාන කිහිපයකට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

    ඒ ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් අවස්ථාවක් හේතුවෙන්. මෙම දියකාවා මෙහෙයුම සැප්තැම්බර් මස 04 සිට 24 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු ඇතුළු රටවල් 10 ක් නියෝජනය කරමින් විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්ෂකයින් 80 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

    මෙම යුද අභ්‍යාසය, ඕනෑම හදිසි අවස්ථාවකදි භට පිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් හා හැකියාවන්ගෙන් යුත් විශේෂ ක්‍රියාන්විත බලකායන් න්‍යායාත්මක රාමුවක් තුල ක්‍රමවත්ව යෙදවීම සඳහා සැලසුම් කර තිබේ.

    මෙම වසරෙහි දියකාවා යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ කටයුතු කරන අතර, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂකවරුන් ලෙස බ්‍රිගේඩියර් සෙනෙරත් යාපා ද කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ. සමරසිරි සහ විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.පී.සී. පීරිස් කටයුතු කරනු ලබයි.

    ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය) හී අවසන් ප්‍රහාරාත්මක යුද අභ්‍යාසය සැප්තැම්බර් 24 වන දින කුච්චවෙලි ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව ඇත.

    Last modified on සදුදා, 09 සැප්තැම්බර් 2019 07:47

    Latest News