මහවැලි දරුවන්ගේ ක්‍රීඩා උලෙළ මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින්

සැප් 08, 2019

    මහවැලිය ආරම්භ වී වසර 50ක් සපිරෙන මෙම අවස්ථාවේ මහවැලි සංවර්ධනයේ සුවිශේෂී නවෝදයක් ඇති කිරීමට තමාට හැකි වූ බව පැවසූ ජනාධිපතිතුමා එහි ප‍්‍රතිලාභ අදට වඩා රටට හිමි වන්නේ හෙට දිනයේ දී බව කියා සිටියේය.

    රටේ ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබාදෙමින් සහ පොදුජන ජීවන තත්ත්වය ඉහළ නංවමින් තවත් වසර ගණනාවක් ඉදිරියට ඇදී යන එම සුවිසල් සංවර්ධන ක්‍රියාදාමය මහවැලි ගඟ ගලන්නා සේ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇති බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද (08) පස්වරුවේ මැදිරිගිරිය බිසෝපුර දී පැවැත්වුණු 31 වන මහවැලි ක්‍රීඩා උලෙළේ සමාප්ති උත්සවය අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙරට භූමි භාගයෙන් 40%ක පමණ ප‍්‍රමාණයක ව්‍යාප්තව ඇති මහවැලි සංවර්ධන ව්‍යාපාරය ශ‍්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක දැවැන්තම සංවර්ධන ව්‍යාපාරය බවත්, ඒ වෙනුවෙන් සුවිශේෂි වැඩ කොටසක් ඉටු කරමින් මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් යුතුකම් රැසක් ඉටු කිරීමට තමාට හැකියාව ලැබුණු බවත්ය.

    මොරගහකන්ද - කළු ගඟ සංවර්ධනය ව්‍යාපෘතිය මෙරට කෘෂිකර්මාන්තයේ සහ වාරි කර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ඒ හරහා වැව් දහස් ගණනක් පෝෂණය කිරීම වෙනුවෙන් ඉදි කෙරෙන ඉහළ ඇළහැර, වයඹ ඇළ, මිණිපේ ඇළ, උතුරු මැද මහ ඇළ ඇතුලූ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් රජය රුපියල් කෝටි 23,000ක මුදලක් වැයකර තිබෙන බවද කියා සිටියේය.

    මහවැලි ගොවි පවුල්වල දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කෙරෙන මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් දෙදිනක් පුරා පැවැත්වුණු අතර මහවැලි කලාප 10ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1500ක් පමණ ඊට සහභාගී වූහ. ක්‍රීඩා උලෙළේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට තිළිණ හා සම්මාන ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    මෙවර ක්‍රීඩා උලෙළේ ජනාධිපති ශූරතාව මහවැලි “එච්” කලාපය දිනාගත් අතර අනුශූරතාවය මහවැලි “සී”කලාපයට හිමිවිය. අදාළ ජය සංකේත ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර, ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ද ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමිණි.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඞී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් සහ සුගත් තිලකරත්න මහතා ඇතුළු හිටපු ප‍්‍රවිණ ක්‍රීඩික-ක්‍රීඩිකාවන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර මැදිරිගිරිය බිසෝපුර මහවැලි ක්‍රීඩාංගණය අද ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි. මහවැලි අධිකාරිය විසින් ඉදිකරන ලද දැවැන්තම ක්‍රීඩාංගණය ලෙස සියලූ පහසුකම්වලින් සමන්විතව මෙය ඉදිකර තිබෙන අතර වැයකර ඇති මුදල රුපියල් මිලියන 170කි.

    මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නේ කලාපයේ පාසල් දරුවන්ගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ද මෙම ක්‍රීඩාංගණය විවෘත කරන ලෙසයි. මේ අතර මොරගහකන්ද-කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මැදිරිගිරිය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    Latest News