ලං.වි.ම. කිසිම ආකාරයකින් පුද්ගලීකරණය කරන්නේ නැහැ...රවී

සැප් 05, 2019
    ලංකා විදුලිබල මණ්ඩලය කිසිදු අයුරකින්න් පුද්ගලීකරණය නොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
    ඇමතිවරයා මේ බව කියා සිටියේ, පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් අංශ 04 මූලාස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා..
    "අපට අවශ්‍ය වන්නේ මූල්‍ය විනයක් ඇතිව කටයුතු කිරීමයි. ලං.වි.ම. ජනතාවට විශාල සේවයක් කරනවා වගේම ඒ සදහා ගිය වියදමත් අපි සලකා බැලිය යුතුයි. ඒ අනුව එකම තැන හිරවෙලා සිටිනවාද, නැතිනම් ඉදිරියට ගමන් කරනවාද කියලා අපි සිතා බලන්න ඕන. වසර 50ක කීර්ති නාමයක් ඇතිකළ ලංවිම, තව දුරටත් එය වර්ධනය කළ යුතුයි. අපි චක්‍රලේඛ වලට යටවෙලා, ඒවාට කොටුවෙලා සිටිය යුතු නැහැ. ඒ දේවල් මත්තෙන් අපි සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ මේ රටේ ජනතාවට විශාල අත්‍යාවශ්‍ය සේවාවක් සපයන ආයතනයක්. අද මෙම කාර්යාල පරිශ්‍රය විවෘත කිරීමට හැකිවිම සම්බන්ධයෙන් මා අතිශය සතුටට පත්වෙනවා. මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට මූලාරම්භය සපයලා තිබෙන්නේ, අපේ හිටපු විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා. අපි එතුමාටත් මේ අවස්ථාවේ ස්තුතිවන්ත වියයුතුයි. ඒ වගේම විදුලිබල මණ්ඩල‍යේ ප්‍රධාන කාර්යාලයත් හැකි ඉක්මණින් නව ගොඩනැගිල්ලක් වෙත ගෙනියන්න හැකිවේවා කියලා මම ප්‍රාර්ථනය කරනවා.
    මට පේනවා පාරිභෝගිකයාට විශාල පීඩනයක් වෙලා තිබෙනවා විදුලි බිල. එය අඩු කිරීමට අපි පියවර ගතයුතුයි. ඒ සදහා යෝග්‍යතම මාර්ගය තමයි විදුලි නිෂ්පාදන වියදම අවම කිරීම. ඒ සදහා යෝග්‍ය නිෂ්පාදන මූලයන් අපි තෝරාගත යුතුයි. ගල් අගුරු, එල්.එන්.ජී. තුළිනුත් මේ සදහා විශාල පිටිවහලක් ලැබෙනු ඇති. මේවා සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් කතා කරනවා. නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බාධාවීම් ඇතිවුනත්, ඒවා මැඩපවත්වාගෙන අපි මෙම කාර්යයන්ට යොමුවිය යුතුයි. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙනසක් ඇතිකරන්න පුලුවන් හොදම ආයතනය තමයි ලං.වි.ම. ලෝකය වෙනස්වන ආකාරයට අපි වෙනස් වුණේ නැතිනම් අපි හිරවෙනවා. රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙළේ 40% ක් පමණ තිබෙන්නේ විදුලිබල ක්ෂේත්‍රය මතයි. දිනකට දෙකකට විදුලිය ඇනහිටිනවා කියන්නේ රටකට විශාල ප්‍රශ්නයක්.  විදුලිබල මණ්ඩලයේ අඛණ්ඩ සේවයක් තිබෙනවාද. නැහැ. දෛනිකව බැලුවම දිවයිනේ කොතැනක හෝ විදුලිය ඇනහිටීම් විශාල සංඛ්‍යාවක් තිබෙනවා.  අපි සෑම විටම සිටින්නේ බියෙන්. එක් උත්පාදන යන්ත්‍රයක් කැඩුනොත් විදුලිය ඇනහිටිනවා කියලා අපි බයෙන් සිටින්නේ. මේ වගේ බයෙන් ඉන්නේ ඇයි. ගිවිසුම් ඇතිකරගත්ත නිසා කියලා වසර 25, 30 පරණ යන්ත්‍ර වලින් අපි තවමත් විදුලිය ජනනය කරනවා. ඒ තුළින් ඒක ඒකකයක් නිෂ්පාදනය කරන්න විශාල වියදමක් වැය වෙනවා. ඇයි අපි මේවා වෙනස් නොකරන්නේ. ඒකයි මම කියන්නේ අපි සිතන ආකාරයේ වෙනසක් ඇතිකළ යුතුයි කියලා. තරගකාරීත්වයක් ඇති කිරීම තුළින් රටක් සංවර්ධනය කළ හැකියි. සෑම දෙයක්ම නිකන් දෙන සංකල්පය කිසිම දේශපාලන පක්ෂයකට ප්‍රායෝගික නැහැ. අපි නිරන්තරයෙන් නිෂ්පාදන වියදම අවම කරගත යුතුයි. ඒ වෙනුවෙන් විදුලිය මිල අවම කිරීම අත්‍යාවශ්‍යයි. ඒ තුළින් රටේ සීග්‍ර වර්ධනයක් ඇතිවේවි.
    ලංකා විදුලිබල මණ්ඩලයේ සැලසුම් වල සදහන් වෙලා තිබෙනවා 2018, 2019 දී එල්.එන්.ජී. තාක්ෂණය යොදාගත යුතුයි කියලා විදුලිය උත්පාදනය කිරීම වෙනුවෙන්. මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියත් ලැබිලා තිබෙනවා. ඇයි එහෙනම් අපට තවමත් මේ කාර්යය කරගන්න බැරි වුණේ. යම් බාධාවන් ඇති වෙනවා. නමුත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. එහෙමනම් ඇයි අපි මේක නොකරන්නේ. ඇයි ප්‍රමාද කරන්නේ. යම් අය බලාගෙන ඉන්නවා මොනවද වෙන්නේ. මොකක්ද කරන්න පුලුවන් කියලා. නමුත් බහුතරයක් බලන් ඉන්නේ මොනවද කළේ කියලා. වැඩ කරන අයට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. නමුත් අපි නිර්භයව ඉදිරියට යා යුතුයි.  
    යම් පිරිස් අපට දොස් පවරනවා, තෙල් මාෆිවක් ගැන. අපි මේ ගැටළු පිළිබදව දීර්ඝ වශයෙන් සිතිය යුතුයි. පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම තමයි මේකට තිබෙන සුදුසුම පියවර. හැකි සෑම අවස්ථාවකම අපි පුනර්ජනනීය බලශක්තිය එක් කළ යුතුයි. ලබන සතියේ අපි කැබිනට් පත්‍රයක් අනුමැතිය සදහා නිකුත් කරනවා. නව ගෘහස්ත මෙන්ම ව්‍යාපාරික ගොඩනැගිලි සම්බන්ධයෙන්. ගෘහයක් නම් වර්ග අඩි 7500ට වැඩිනම් 20% ක් හෝ 25% ක්, ඒ වගේම ව්‍යාපාරික ස්ථානයක් නම් වර්ග අඩි 1000ට වැඩිනම් අනිවාර්යයෙන්  සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සදහා යොමු කළ යුතුයි. ලං.වි.ම. අලාභය නැති කිරීමටනම්, අනිවාර්යයෙන් මෙය කළ යුතුයි. අද බිලියන 22ක පමණ විදුලි ඉල්ලුමක් තිබෙනවා. නමුත් මේ ඉල්ලුමට සරිලන සැපයුමක් ඇති කිරීමට අපට නොහැකි වෙලා තිබෙනවා. මේක රටේ සංවර්ධනයට බාධාවක්. කව්ද මේවාට වගකියන්නේ.
     
    අපට හැකිනම්, අවම මිලකට විදුලි ඒකකයක් නිපදවන්නට, ඒක තමයි අපි ලබන උපරිම ලාභය. මේ වෙනස තමයි අප ඇතිකළ යුත්තේ. දළ වශයෙන් රු. 23.00 තිබෙන විදුලි ඒකකයක්, රු. 16.00ට රු.17.00ට ගේන්න පුලුවන්නම්, වසරකට බිලියන 100ක් පමණ ඉතිරි කළ හැකියි. මේක තමයි අපි කල යුතුම කාර්යය වන්නේ" යැයි පැවසීය.
    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 16:37

    Latest News