සියෝන් දේවස්ථාන බෝම්බකරුගේ සිරුරු කොටස් නැවත මඩකලපුව රෝහල් මෘත ශරීරාගාරයට

සැප් 02, 2019

    මඩකලපුව සියෝන් දේවස්ථානයට පහරදුන් මරාගෙන-මැරෙන ත්‍රස්තවාදී සැකකරුගේ හිස සහ ශරීර කොටස් මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ පොලිස් ආරක්‍ෂාව යටතේ තැන්පත් කෙරේ.

    මෙම ත්‍රස්තවාදී සැකකරුගේ හිස සහ ශරීර කොටස් මඩකලපුව කල්ලියන්කාඩු සුසාන භූමියේ වළ දමා තිබූ අතර, අද නැවත ගොඩගනු ලැබිණ. ඒ මඩකලපුව මහේස්ත්‍රාත්වරයාගේ, මඩකලපුව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිරීක්‍ෂණය යටතේ.

    මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන-මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී සැකකරුගේ හිස සහ ශරීර කොටස් පසුගිය 19 වැනිදා මෙම සුසාන භූමියේ වළ දමනු ලැබිණ. ඒ මඩකලපුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මතයි. මෙම සුසාන භූමියේ ත්‍රස්තවාදී සැකකරුගේ හිස සහ ශරීර කොටස් වළ දැමීමට එරෙහිව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වියලේන්ද්‍රන් මහතා සහ ප්‍රදේශවාසී ජනතාව දැඩි විරෝධතාවක් එල්ල කළේය.

    ඒ අනුව මඩකලපුව පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයාගෙන් කරණු ලැබූ ඉල්ලීමකට අනුව එම ශරීර කොටස් නැවත ගොඩ ගෙන පොලිස් ආරක්‍ෂාව යටතේ මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස නියෝග කෙරිණ.

    ඒ අනුව අද (02) දින හිස සහ ශරීර කොටස් නැවත ගොඩගනු ලැබිණ. මෙම හිස සහ ශරීර කොටස් මඩකලපුව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමෙන් පසු මඩකලපුව දිස්ත්‍රික් ලේකම්, දැනුම් දෙන ස්ථානයක ඉදිරි දිනකදී භුමිදානය කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 02 සැප්තැම්බර් 2019 18:00

    Latest News