පක්ෂයේ විනය කැඩූ නියෝජිතයන් ගැන ශ්‍රීලනිප දැඩි තිරණයක් (වීඩියෝ)

අගෝ 27, 2019
  • පක්ෂයේ විනය කඩකල මහජන නියෝජිතයින්ට එරෙහිව පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වුණේ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දීයි. රැස්වීම ආරම්භ වුණේ ප.ව 7.00ට පමණ.

     

    මාධ්‍යයට අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් ජයලලාල් සිල්වා..

    ජනාධිපතිවරණය සඳහා පවතින තත්වයන් පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කරලා තමයි ඒ පිළිබඳව පක්ෂය විසින් ගනු ලබන තීන්දුව ගන්නේ කියන එක ජනාධිපතිතුමා ප්‍රකාශ කළා..ඒක මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයන් ඒකමතිකව අනුමත කළා..

     ඔබතුමාලා තනිව තරග කරනවාද? නැත්නම් පොදුජන එක්සත් පෙරමුණත් එක්ක තරග කරනවද?

    අපි ගනු ලබන තීරණය පිළිබඳව ඉක්මන් වෙන්න ඕන නෑ කියන එක තමයි ජනාධිපතිතුමාගේත්, මධ්‍යම කාරක සභාවේත් මතය..

    තනතුරු මාරු වුණේ කාගෙද?
    ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමන්ලා, ලේකම්තුමන්ලා, භාණ්ඩාගාරික ධුරය හා මධ්‍යම කාරක සභාවේ යම් පුරප්පාඩු ප්‍රමාණයක් පිරවිමට තීන්දු කළා..

    එස්.බී.දිසානායක මන්ත්‍රීතුමාගේ තනතුර වෙනස් වුණා නේද?

    ඔව් ඒ වෙනුවට ලසන්ත අලගියවන්න මන්ත්‍රීතුමාගේ නව යෝජනා වුණා..

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වෙන සාකච්ජා සඳහා නියෝජිතයන්ගේ වෙනසක් සිදුවන බව වාර්තා වෙයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් දයාසිරි ජයසේකර, උපසභාපති මහින්ද අමරවීර හා නියෝජ්‍ය ලේකම් ලසන්ත අලගියවන්න මහතා සහභාගී වන බව වාර්තා වෙයි. සාකච්ජා සඳහා මීට පෙර එක්වූ තිලංග සුමතිපාල මහතා හා හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හා නියෝජිත පිරිසෙන් ඉවත්කර තිබෙන බව ආරංචි මාර්ග පවසයි.  

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් පළමුවරට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද සාකච්ජා සඳහා එක්වීමට නියමිතයි. පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා පා.ම ඩලස් අලහප්පෙරුම යන අය එක්වීමට නියමිතයි. මීට පෙර පක්ෂය නියෝජන කළ ආචාර්ය ජගත් වැල්ලවත්ත අද සාකච්ජාවට එක්නොවන බව ද වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අවස්ථා 6ක දී සාකච්ජා පැවැත්වුණ අතර අවසන් සාකච්ජාව පැවැත්වුණේ ජුනි 26 වැනිදායි.

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 08:42

    Latest News