UNP යට ජනපතිවරණය ජයගැනීමට අවශ්‍ය දේ අගමැතිගෙන්

අගෝ 19, 2019

    එළඹෙන මැතිවරණය පහසුවෙන් ජයග්‍රාහනය කළ හැකි බව පෙන්වා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලූ දෙනා එකමුතුව හා එක්සත්ව නව සන්ධානය පිහිටුවා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බව අද (19) අරලියගහ මන්දිරයේ ඔහු කියා සිටියේය. 2015 සිට විවිධ අභියෝග හා දුෂ්කරතාවලට මුහුණ දෙමින් බහුතර බලයක් නොමැතිව ආණ්ඩුවට විශාල සංවර්ධන වැඩ කොටසක් සිදු කිරීමට හැකි වූ බව වික්‍රමසිංහ මහතා පැවසිය. කෙටි කාලයක් තුල මෙතරම් වැඩ කොටසක් සිදුකළ ආණ්ඩුවක් තවත් නැති බව ඔහු සිහිපත් කළේය.

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය 2019 වර්ෂයේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව මාතර, හම්බන්තොට, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

    අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා......

    පසුගිය කාලය තුල මේ ආණ්ඩුව සංවර්ධන ව්‍යපෘති විශාල ප්‍රමාණයක් දියත් කළා. ඒ සංවර්ධනයේ නියමුවන් ලෙස ප්‍රාදේශීය දේශපාලනයේ නියැලී සිටින ඔබ විශාල සහයෝගයක් දැක්වූවා. සංවර්ධන වැඩකටයුතුවල සාර්ථකත්වය ජනතාවට අවබෝධ කර දෙමින් බිම් මට්ටමේ බලය රැක ගැනීම සඳහා ඔබ සියලූ දෙනා පියවර ගත යුතුව තිබෙනවා. මේ ආණ්ඩුව තරම් මහජනතාව වෙනුවෙන් වැඩ කළ තවත් ආණ්ඩුවක් නැහැ. එමෙන්ම මේ ආණ්ඩුව තරම් කළ සංවර්ධන වැඩ ගැන කතා නොකළ ආණ්ඩුවක් නැහැ.

    2015 සිට මේ දක්වා ජනාධිපති බලය අපට තිබුණේ නැහැ. එමෙන්ම ස්ථාවර ආණ්ඩුවක් තිබුණේ නැහැ. එවන් පසුබිමක විවිධ අභියෝග හා අපහසුතා මධ්‍යයේ ආණ්ඩුව මෙතෙක් දුර ගෙනවිත් විශාල සංවර්ධන වැඩ කොටසක් සිදුකිරීමට අපට හැකිවුණා. බලතල සහිත ස්ථාවර ආණ්ඩුවක් ලබාගෙන මේ වැඩකටයුතු තවත් දස ගුණයකින් වැඩිකිරීම අපේ අරමුණයි.

    අප බලයට පත්වන විට විනාශ වී තිබූ රට යථා තත්වයට පත්කොට ණය මුදලක් ලබාගැනීමට හැකිවන තැනට ගෙන ඒමට වසර 02ක් ගතවුණා. කොපමණ ප්‍රශ්න තිබුණත් ජනතාව වෙනුවෙන් අප විශාල වැඩකොටසක් සිදුකළා. රාජ්‍ය සේවක වැටුප් වැඩිකළා. සමෘද්ධි සහනාධාරය වැඩි කළා. සෞඛ්‍යයට, අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන්කර එම අංශ දියුණු කළා. මහා මාර්ග, නිවාස, යටිතල පහසුකම්, රැකියා ලබාදීම් ඇතුළු විශාල වැඩකොටසක් සිදුකිරීමට අපට හැකිවුණා.

    එළඹෙන මැතිවරණය අපට ජයග්‍රාහනය කළ හැකියි. මහජන නියෝජිතයින් වශයෙන් ඔබ දැන් සිටම ජනතාව අතරට ගොස් අප සිදුකළ සහ ඉදිරියේ සිදුකරණ වැඩකටයුතු පිළිබදව දැනුවත් කර මූලික පියවර ආරම්භ කරන්න. අප සියලූ දෙනා එකමුතුවී සන්ධානය ඇති කර එළඹෙන මැතිවරණය ජයග්‍රාහනය කර අපේ බලය තහවුරු කරමු.

    දේශපාලන පක්ෂ හා ප්‍රගතිශිලි සංවිධාන රැසක් එක්කර ගනිමින් ඉතා කෙටි කලක් තුල නව සන්ධානය පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය. එම සන්ධානය සමඟ සන්ධානගතවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයින් ඇතුළු ක්‍රියාකාරීන් විශාල පිරිසක් බලාසිටින බව ඔහු පැවසීය. ගතවූ වසර හතර තුල රටේ සෑම ප්‍රදේශයකම පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සිදුකිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවූ බවත් ඒ සංවර්ධනය තවත් වේගවත්ව ඉදිරියට ගෙන යාම සඳහා සියළු දෙනා එකමුතුව ක්‍රියාකොට ඉදිරි මැතිවරණය ජයග්‍රාහනය කළ යුතු බව අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

    ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමේ ක්‍රමවේදයක් එක්සත් ජාතික පක්ෂය තුල තිබෙන බව එජාප ජාතික සංවිධායක හා අමාත්‍ය නවින් දිසානායක මහතා පෙන්වාදුනී. ඉදිරියේදී සියලූ දෙනා එක්ව සාකච්ඡා මාර්ගයෙන් එම අපේක්ෂකයා පත්කර ගන්නා බව ඔහු කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගොස් ඇතැම් පිරිස් අතීතයේදි නව දේශපාලන ව්‍යාපාර ආරම්භ කළත් ඒවා සාර්ථක නොවූ බව නවින් දිසානායක මහතා සහිපත් කළේය. ඒ සෑම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා වී ඉදිරියට පැමිණි බව ඔහු පෙන්වා දුන්නේය. අතීතයේ සිට එක්සත් ජාතික පක්ෂය තුල අර්බූද ඇති කිරීමට ඇතැම් බලවේග උත්සාහ ගත් බවත් එවැනි උත්සාහයන් පරාජය කොට සියලූ දෙනා එකමුතුව ඉදිරියට යාම තුලින් එජාපයට ජයග්‍රහණ අත්පත් කර ගත හැකි බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි හා වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු දේශපාලඥයින් විශාල පිරිසක් සහභාගිව සිටියහ.

     

    Latest News