“ජාතික සම්මාන 2019“ සම්මාන ප්‍රදානය

අගෝ 19, 2019

    “ජාතික සම්මාන 2019“ සම්මාන ප්‍රදානෝත්සවය, බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් අද (19) පැවැත්විණ.

    ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඪත්වය ඔසවා තැබීමට මෙන්ම දේශයේ ගෞරවය සහ ප්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශ්‍රී ලාංකිකයන් ඇගයීම මෙහි අරමුණයි. විවිධ ක්‍ෂෙත්‍රවල සිය අද්විතීය විශිෂ්ටත්වය ප්‍රකට කළ ඔවුන්ගේ පෞද්ගලික දායකත්වය අගයනු වස් මෙම සුවිශේෂි සම්මාන පිරිනැමිණ. විද්‍යා, කලා ඇතුළු අංශ රැසක උපරිම කාර්ය භාරයක් රට වෙනුවෙන් ඉටු කළ 70 දෙනෙක් මෙහිදී ඇගයීමට ලක්වූහ. දේශමාන්‍ය, දේශබන්දු, විද්‍යාජෝති, කලා කීර්ති, ශ්‍රී ලංකා ශිඛාමණී, විද්‍යා නිධි, කලාශූරී, ශ්‍රී ලංකා තිලක, වීර ප්‍රතාප, ශ්‍රී ලංකා රංජන යන සම්මාන ද ශ්‍රී ලාංකිකයන් නොවන පුද්ගලයන්ට, ශ්‍රී ලංකා රත්න හා ශ්‍රී ලංකා රංජන යන සම්මාන පිරිනැමිණ. ශ්‍රී ලාංකික නොවන අයට ප්‍රදානය කෙරෙන මෙරට උසස්ම සම්මානය වන ශ්‍රී ලංකා රත්න සම්මානය යසුෂි අකාෂි මහතාට පිරිනැමිණ. අන්තර් ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මෙන්ම ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය සඳහා වන ජපන් රජයේ නියෝජිතයා වශයෙන් ඉටු කළ සේවාව වෙනුවෙන් ඔහු ඇගයීමට ලක්විය. මේ අවස්ථාවට කතානායක කරූ ජයසූර්ය, මැති ඇමතිවරුන් හා විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    මේ අතර, රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් විරෝධාර විභූෂණ පදක්කම් අද පිරිනැමිණ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී. 2016 වසරේ මඩකලපුව, පුඩුපාලම අසල කලපුවට ත්‍රීරෝද රථයක් වැටී එහි ගමන් ගත් සිව් දෙනෙකු දියේ ගිලෙමින් සිටියා. ඔවුන් බේරා ගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රත්නායක මහතාට එක් පදක්කමක් ප්‍රදානය කෙරිණ.

    ranaweeru px 900 19 08 19

     

    2017 වසරේ ගංවතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ගුවන් හමුදාව දියත් කළ මෙහෙයුමේදී ආරක්‍ෂිත ආධාරක ගිලිහීමෙන් සිදුවූ අනතුරින් ජිවිතක්‍ෂයට පත්වූ බලලත් නිලධාරී වයි.එම්.එස්. යාපාරත්න මහතා වෙනුවෙන් ද විරෝධාර විභූෂණ පදක්කමක් ප්‍රදානය කෙරිණ. ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, මහතා ඇතුළු ආරක්‍ෂක ප්‍රධානීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    lama px 900 19 08 19

    Latest News