ස්විස්ටර්ලන්තය සමග විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා

අගෝ 14, 2019

    ස්විස්ටර්ලන්තය හා ශ්‍රී ලංකාව මිත්‍ර සබදතා තව දුරටත් තහවුරු කරමින්, ලංකාව තුළ විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව සිය රටේ අවධානය යොමුකරවීමට කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, ස්විස්ටර්ලන්තයේ තානාපති Hunspeter Mock මහතා හමුවී සාකච්ජා පැවැත්වූ අවස්ථාවේදීයි.

    විශේෂයෙන්ම මේ වනවිට සමස්ත දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකවන සූර්යබල සංග්‍රාමය ව්‍යාපෘතිය පිළිබදවත්, ඊට අදාළව ක්‍රියාත්මක කෙරෙන "නෙට් ප්ලස්" සහ "නෙට් මීටරින්" ක්‍රමවේදයන් පිළිබදවත් ස්විස්ටර්ලන්ත තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමුවිය.

    ඒවා ක්‍රියාත්මක ආකාරය හා පාරිභෝගිකයාට මෙන්ම ආයතනයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට අත්වන ප්‍රථිලාභයන් ගැන ද වැඩිදුරටත් තානාපතිවරයා, විෂයභාර අමාත්‍යවරයාගෙන් කරුණු විමසීය. ශ්‍රී ලංකාව මේ වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත නැඹුරු වෙමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, සූර්ය, සුළං ආදි පුනර්ජනනීය ප්‍රභවයන් තුළින් ශ්‍රී ලංකාව සැලකිය යුතු මට්ටමකට පැමිණ ඇති බව ප්‍රකාශ කළේය.

    විශේෂයෙන්ම දිවයින තුළ ක්‍රියාත්මක වන සූර්යබල සංග්‍රාමය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බවත්, එම ව්‍යාපෘතිය වර්ධනය කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

    තානාපතිවරයා අවධාරණය කළේ, විදුලිය සැපයීම අතින් කලාපයේ සෙසු රටවලට වඩා ඉදිරියෙන් ලංකාව සිටින බවයි. ලංකාව වැනි සංවර්ධනය වන රටක් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබදව මේ අයුරින් විශේෂ අවධානයක් යොමුකිරීම රජයක් වශයෙන් සිදුකරනු ලබන විශිෂ්ට ක්‍රියාවක් බවත්, ඒ තුළින් රටක් වශයෙන් නැගී සිටීමට සහ සංවර්ධනාත්මක මාවතකට අවතීර්ණ වීමට පහසු බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට අනුගමනය කරනු ලබන සූර්ය සහ සුළංබල විදුලි උත්පාදනය කෙරෙහි තම විශේෂ අවධානයක් යොමුවූ බවත් පැවසීය.

    Last modified on බදාදා, 14 අගෝස්තු 2019 09:54

    Latest News