ලංකාවේ ඉතිරි එකම මහ ඇමතිත් අතුරේ යයි

අගෝ 07, 2019

    පළාත් සභා නමයෙන් 8ක් ම විසුරුවා ඇති බැවින් ඉතිරිව සිටින එකම මහ ඇමතිවරයා තමා බව ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (6) දා බදුල්ලේදී පැවසීය.

    පසුගිය කාලය පුරාම ගියෙත් දැන් යන්නෙත් අතුරේ යනවා වගේ ගමනක් යැයි ඔහු කියා සිටියේය. ශ්‍රීලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඌව පළාත් ශාඛාවේ ඉදිකිරීම් සම්මාන 2019 උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    “මට මහ ඇමතිකම හම්බඋනේ වෙනත් මහ ඇමතිවරුන්ට වගේ ස්වර්ණමය යුගයන්හි නොවෙයි. පළාත් සභාක්‍රමය ආරම්භ වෙලා 1988 ඌවේ ප්‍රථම මහ ඇමතිවරයා වූයේ පර්සි සමරවීර මහත්තයා. ඒකියන්නේ රවීන්ද්‍ර සමරවීර මහත්යාගේ බාප්පා .පර්සි සමරවීර මහ ඇමතිතුමාගේ කාලයේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහත්තය. අගමැති ප්‍රේමදාස මහත්තය. මුදල් ඇමති, ආණ්ඩුව, ලලිත් ඇතුලත් මුදලි මහත්තය, ගාමිණි දිසානායක මහත්තය, මේ ඔක්‍කොම එක පැත්තක. 99 දි පර්සි සමරවීර මහත්තයා පළාත් සභා මැතිවරණයට සති දෙකකට පෙර මියගියා. නමුත් එතුමා මනාප වලින් 1 වැනියා උනා. අපේ පැත්තෙන් ඉල්ලපු සමරවීර වීරවන්නි මහත්තය පැරදුනා.

    ඊට පස්සේ වීරවන්නි මහත්තයා මහ ඇමති උනා. වීරවන්නි මහත්තයාගෙන් පස්සේ බුද්ධදාස මහත්තයා මහ ඇමති උනා. සොයිසා මහත්තය මහ ඇමතිවනකොට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක, අගමැති සහ ඇමති මණ්ඩලය ඔක්කොම තිබුණේ එක පැත්තක.

    2009 ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්තයා ඌවේ මහ ඇමති වනකොට තාත්තා කථානායක අගමැති කැබිනට් එක ආණ්ඩුව එකම පැත්තක. මහ ඇමතිකමට අමතරව ජනාධිපති පුද්ගලික ලේකම් වරයා උනෙත් ශෂින්ද්‍ර මහත්තයා. මට මහ ඇමති කම ලැබුනේ අපට බලයක් නැති කාටවත් හිතන්න බැරි නරක කාලයක. මට අගමැති නැහැ. කැබිනට් එක නැහැ, ආණ්ඩුව නැහැ. මම මහ ඇමතිවනකොට මුදල් ඇමති රවී. ඊට පස්සේ මංගල. අපට හොද කාලයක නොවෙයි මම මහ ඇමති උනේ. මම පාර්ලිමේන්තුවට පත් උනත් ගියේ නැහැ ගියානම් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා මගේ දේශපාලන ස්ථාවර භාවය රැකගන්න තිබුණා. නමුත් මම පාර්ලිමේන්තුව එපා කියලා පළාත්සභාවේ මහ ඇමති කම බාරගත් නිසා ඌව පළාතට ලොකු සේවයක් කරන්න පුථවන් උනා. කුමන බාධක තිබුණත් මේ සංවර්ධන කටයුතු සදහා ඌව පළාත් සභාවේ 34 දෙනාගේම සහයෝගය ලැබුණේ යැයිද. ජනතා විමුක්ති පෙරමුණෙ සමන්ත විද්‍යරත්න මන්ත්‍රීවරයා මොන දේශපාලන එදිරිවාදිකම් තිබුනත් සහයෝගය දුන් අය අතර සිටියේ යැයිද කළ සේවාවන් පිළිබදව තමා සතුටු වෙනවා යැයිද මහ ඇමතිවරයා පැවසීය.

    Latest News