උපවාසය අතහැරිමට එකඟ වු තඹුත්තේගම ගොවීන්ට පා.ම. දුමින්දගෙන් බලාපොරොත්තු නොවු ප්‍රතිචාරයක්

අගෝ 07, 2019

    මහවැලි එච්. කළාපයේ තඹුත්තේගම ගොවි නියෝජිතයින් තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට පවත්වන අඛණ්ඩව උපවාසය අත්හැරීමට තිරණය කර තිබේ.

    උපවාසයේ නිරත ගොවි නියෝජිතයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසු ගොවින් මෙම තිරණයට එළඹ ඇත.

    ගොවි ගැටලු සඳහා දීර්ඝ කාලීන විසදුම් ලබා දීමට මැදිහත් වන බව දුමින්ද දිසානායක මහතා එහිදි පොරොන්දු වු අතර ඊට අදාළ යෝජනා මාලාවක් ගොවින් විසින් 10 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිතයි. එම යෝජනා මාලාව භාරදීමෙන් අනතුරුව ගොවින් සිය උපවාසය අත්හරිනු ඇති.

    මහවැලි එච් කළාපයේ තඹුත්තේගම කොට්ඨාශයේ ගොවි ජනතාවට බලපා ඇති ගැටලු කීපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ගොවි ගෙවිලියන් පිරිසක් උපවාසයක් ආරම්භ කළේය. යල් කන්නයේ හානි වූ වගාවන් සඳහා අක්කරයකට රුපියල් 50 000 ක වන්දි මුදලක් ලබා ගැනීම හා වගාවන්ට නිසි ලෙස ජලය ලබා නොදීම ඇතුලු ඉල්ලීම් 10 ක් මුල් කර ගිනිමින් ගොවි සංවිධාන 22 ක් උපවාසයට සහභාගිවි සිටිති.

    මෙම විරෝධතාවයට නායකත්වය දුන් ගොවි නායකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හමුවීමට අනුරාධපුර කාර්යාලයට අද (07) පැමිණි අතර, එහිදි ගොවින් විසින් සිය ඉල්ලීම් ඔහුට ඉදිරිපත් කළේය. මෙම තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් සමඟ සාකච්ජාවක් ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියේය.

    එහිදී අදහස් දැක්වූූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා....

    “අක්කරයට රුපියල් 50 000 ක වගා වන්දියක් මෙතරම් විශාල ගොවීන් පිරිසකට ලබා දීමේ හැකියාවක් රජයට නොමැති බවත්, එය විපක්ෂයේ දේශපාලන පාඨයකට පමණක් සීමා වන දෙයක්. ගොවියො වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා, එක එක්කෙනා ඇවිත් ඔතන වාඩි වෙලා ෆොටෝ ටික ගහගෙන ගියාට කවුරුත් විසදුම් හෙව්වේ නෑ නේ“ එබැවින් ගොවීන්ට දිනා ගත හැකි දෙයක් ලෙස ඉදිරි කන්නයේදී බිත්තර වී 50% ක මුදලකට ලබා ගැනීම වැනි දෙයක් ඉල්ලා සිටිම කළ හැකි බවද පැවසීය.

    “හැමදාම ඉඳන් හිටියත් අර වගේ වන්දියක් නම් ලැබෙන්නේ නැතිවෙයි. තවද නිළධාරීන් බොහෝ දෙනෙක් ගොවීන්ගේ ගැටලු සඳහා විසදුම් නොදන්නා බැවින් ලිඛිතව ගැටලු හා ඒවාට විසදුම් ලෙස ගොවීන් යෝජනා කරන යෝජනාවලින් ඇතුළත් ලිපියක් සකස් කරන ලෙසත්, එය ජනාධිපතිතුමන්ට යොමු කර ගොවීන් සමඟ සාකච්ජාව ලබා දීමට“ කටයුතු කරන බවත් පැවසීය.

    ඒ වගේම මේවා උපවාසයේ ජයග්‍රහණ විදිහට දෙන්න නම් මම කැමති නෑ, මට ගොවියොත් එක්ක ප්‍රශ්න නෑ , මමත් හැමදාමත් ඉන්න ගොවියොත් එක්ක, නමුත් මේ උපවාස උද්ඝෝෂණ වලට විසදුම් දෙන්න ගියොත් මේවා පුරුද්දකට යනවා.එතකොට ආණ්ඩුවකට මේ රට කර ගෙන යන්න බැරි වෙනවා යැයි පැවසීය.

    එහිදී ගොවි නායකයින් කියා සිටියේ,
    අපේ උපාවසයට විවිධ විවිධ දේශපාලඥයෝ ඇවිත් වාඩි වුණා, ඒත් අපේ ගැලවුම්කාරයා දුමින්ද ඇමතිතුමා බව දන්නවා. ඒකයි අපි මේ හම්බෙන්න ආවේ යනුවෙන් ඔවුන් කියා සිටියේය. ගොවී නායකයින්ගෙ කමිටුවක් මගින් ගැටලු හා ඒවාට විසදුම් යෝජනාවලියක් සකස් කර 10 වැනි දින දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට භාර දෙන බවට ගොවින් පොරොන්දු වුයේය.

    Latest News