ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ අඩුපාඩු යහපත් සමාජයක් බාධා මතුකරනවා

අගෝ 06, 2019

    පවතින නීති රාමුවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින ඇතැම් අඩුපාඩුත් හේතුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරන බව ජනාධිපතිතුමා පැවසීයි.

    සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශ ශ‍්‍රී ලංකාවේ සියලූ දේශපාලන පක්ෂ නායකයන් වෙත පිළිගැන්වීමේ ජාතික උලෙළ අද (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති අතර උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකාව තුළ සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම සඳහා නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් දේශපාලන පක්ෂ හා මහජනතාව වෙත ඉදිරිපත් කිරීම අරමුණ කර ගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි. ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ සියලූ ආගමික නායකයින් හා පූජා ප‍්‍රසාදීන් වහන්සේලාගේ එකඟත්වයෙන් එම යෝජනාවලිය සකස් කර ඇත.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ඇති වරප‍්‍රසාදවලට අමතරව තවත් වරප‍්‍රසාද සඳහා අනුමැතිය ලබාදීමට එකඟ නොවන්නේ, ජනතා මුදල් ඉසිලිය නොහැකි ආකාරයෙන් වියදම් කිරීම අනුමත නොකරන නිසාවෙන් බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    ගෞරවණීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික නායකයින්ගේ සකස්කර ඇති එම නිර්දේශ පිළිබඳව පූර්ණ එකඟත්වය පල කරන බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ ඒ සඳහා එකඟත්වය ලබාදෙන්නේ නම් නිර්දේශ ක‍්‍රියාවට නැංවීමට උපරිම සහය දක්වන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    අතිපූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමියන් විසින් සභාපතිත්වය දරන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මගින් මෙම නිර්දේශ මාලාව සකස්කර තිබේ.

    මේ අවස්ථාවට ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි, අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ අනුනායක ත‍්‍රිකුණාමලේ ආනන්ද හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අන්‍යාගමික පූජකවරු ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයින් රැසක් ද එක්ව සිටියහ.

     

    Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2019 19:43

    Latest News