පා.ම. සාලින්දගේ අවසන් කටයුතු කුරුණෑගල දී

අගෝ 06, 2019

    අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අවමංගල්‍යය ලබන 08 දින පස්වරුවේ කුරුණෑගල වෙළෙගෙදර ක්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.

    දේහය, කුරුණෑගල වැව රවුමේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ. සාලින්ද දිසානායක මහතා උපත ලැබුවේ, 1958 වසරේ මැයි 07 දිනයි. ඒ, පොලිප්තිගම ප්‍රදේශයේදී. කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් හා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා ඇති ඔහු, උසස් අධ්‍යාපනය ලැබුවේ, මොරටුව විශ්වවිද්‍යාලයෙන්. දෙදරු පියෙකු වන සාලින්ද දිසානායක මහතා රසායනික ඉංජිනේරුවරයෙක්.

    ඔහු 1982 දී විජය කුමාරතුංග මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ එක්ව ශ්‍රී ලංකා මහජන පක්‍ෂය බිහි කිරීමට ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළේය. දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යටතේ, විවිධ අමාත්‍ය ධූර ගණනාවක් හොබවා ඉහළ මහජන සේවාවක් ඉටුකර තිබේ. ඔහු 1994 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව වසර 25ක් හිරියාල ආසනය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වූයේ ඊයේ පස්වරුවේ. ඒ වනවිට ඔහු 61 වැනි වියේ පසුවිය. ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් දේහයට අද අවසන් ගෞරව දැක්වූහ.

    Latest News