ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති හදන්න උත්සාහ නොකරන පිරිස් මරණ දඬුවම වැළැක්වීමේ උත්සාහයක

අගෝ 02, 2019

    අප්‍රේල් 21දා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව ත්‍රස්තවාදී ව්‍යාපාර මුලිනුපුටා දැමීමට නව නීති සැකසිය යුතු බවට ජාති ආගම් භේදයෙන් තොරව සමාජය තුළින් මතයක් පැමිණිය ද මාස තුනක් ඉක්මවූවත් එම නීති ගෙන ඒමට කටයුතු නොකළ ඇතැමි පිරිස් මරණීය දණ්ඩනය වැළැක්වීමේ නීති කඩිනමින් පාර්ලිමේන්තුව ගෙන ඒමට උත්සාහ කරන බව ජනපති පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය නිවාරණය තේමා කර ගනිමින් පැවති වයඹ පළාත් අන්තර් පාඨශාලයීය නිර්මාණ තරඟයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් පිළිගැන්වීම වෙනුවෙන් අද (02) පස්වරුවේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ලෝක නායකයන් නැගී නොසිටින්නේ ඔවුන්ගේ ජීවිත අවධානම හෝ ආණ්ඩු බලය පෙරළා දැමීමට එම ජාවාරම්කරුවන්ට ඇති හැකියාව පිළිබඳ දැනුවත්කම නිසාවෙන් බවත් එම එය දැන මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ අතර කුමන බාධා පැමිණිය ද තම සටන අත් නොහරින බවත් ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ අධෛර්යමත් කිරීමේ අරමුණින් තමන්ට එරෙහිව නින්දා අපහාස සිදුකරන්නේ, දේශපාලනඥයින් විසින් ශක්තිමත් කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මතු දරු පරපුර බේරාගැනීමට අද දවසේ තම වගකීම ඉටු කිරීමට කිසිසේත් පසුබට නොවන බව ද පැවසීය.

    ජනාධිපතිතුමාගේ මතින් නිදහස් රටක් බිහි කිරීමේ උදාර සංකල්පයට අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කර ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව බලගන්වා මත්ද්‍රව්‍ය විරෝධී අනාගත පරපුරක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාවට නැංවුණු අතර, ඊට සමගාමීව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාගේ මගපෙන්වීමෙන් මතින් මිදෙමු – තුටින් හිඳිමු, තේමාව යටතේ මෙම තරගාවලි සංවිධානය කර තිබිණි.

    පාසල්, කොට්ඨාස හා පළාත් මට්ටමින් පැවති තරගාවලියේ දී ගද්‍ය, පද්‍ය, ගේය පද රචනා, කෙටි කතා, චිත්‍ර, කථික, කෙටි නාට්‍ය, කෙටි චිත්‍රපට හා ආදර්ශ පාඨ නිර්මාණ යන අංග 09ක් ඔස්සේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තරග පවත්වන ලදී.

    එම තරග අංශවලින් ජයග්‍රහණය හිමිකරගත් සිසු සිසුවියන් 1036 දෙනෙකුට සම්මාන සහතික හා ත්‍යාග පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, පා.මන්ත්‍රීවරු වන දයාසිරි ජයසේකර, එස්.බී. නාවින්න, ශාන්ත බණ්ඩාර, හිටපු පළාත් අමාත්‍යවරු වන අතුල විජේසිංහ, ධර්මසිරි දසනායක. චම්පික රාමනායක, ප්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු විදුහල්පතිවරු, දෙමව්පියන් සහ සිසු දරුවන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

    Latest News