ලෝකයේ ආණ්ඩු මැතිවරණවලදී ජනතාවට දෙන හීන ඉටු කරන ආණ්ඩු ඉතා අල්පයි

අගෝ 02, 2019

    ලෝකයේ බොහෝ ආණ්ඩු මැතිවරණ කාලවල දී ජනතාව වෙනුවෙන් හීන සහ බලාපොරොත්තු මැව්ව ද ඒවා ඉටු කරන ආණ්ඩු ලෝකයේ ඉතා අල්ප බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) දින අනුරාධපුරයේ දී පැවසීය.

    එ අනුව ලබාදුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කළ ආණ්ඩුවක් ලෙස වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව හැදින්විය හැකි බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවට ඔවුන්ගේ වසර 10 ක පාලන කාලය තුළ රට වෙනුවෙන් කළ නොහැකි වූ සේවය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව බලය ලබාගත් සුළු කාලය තුළ ඉටු කර තිබෙන බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ජනතා ගැටලූ විසදා රට අනාගත සංවර්ධනය කරා ගෙනයන ආණ්ඩුවකට රට නැවත බාර දෙනවා ද, එසේ නොමැති නම් රට අඳුරු යුගයකට ගෙන යන ආණ්ඩුවකට බාර දෙනවා ද යන්න ජනතාව ඉදිරියේ දී තීරණය කළ යුතු බව ද පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද දින අනුරාධපුර මැදඔයාමඩුව වැව සංවර්ධන කටයුතු ආරම්භ කිරීම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා හානිවූවන් සඳහා වන්දි මුදල් ලබාදීම, අනුරාධපුර - මල්වතු ඔය පාලම සඳහා මුල්ගල තැබීමෙන් අනතුරුව අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම ඇතුලූ වැඩසටහන් රැසකට සහභාගි වෙමිනි.

    මෙම උත්සව අවස්ථාවන් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

    “1932 වසරේ සිට ජනතාව රජයේ ඉඩම්වල පදිංචි කළා. නමුත් ඔවුන්ට එම ඉඩම් සඳහා හිමිකම් ඔප්පු හිමි වුණේ නැහැ. එම නිසා එම ජනතාවට ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අපේ රජය යටතේ ආරම්භ කර ඉතා සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක කරනවා. අපේ සංවර්ධනය තිබෙන්නේ රූපවාහිනී සංදර්ශන තුළ නොවෙයි. බොහෝ අය විශ්වාස කරන්නේ රූපවාහිනිය හරහා සිදු කරන සංදර්ශන සංවර්ධනය පමණයි. නමුත් අපි වැඩ කරන ආණ්ඩුවක්. අපි සංදර්ශනවලින් තොරව රට වෙනුවෙන් වැඩ කරනවා.

    රටේ ජනතාවට නිවාස ලබාදීමට අපි කටයුතු කරමින් සිටිනවා. ඖෂධ මිල අඩු කරමින් ජනතාවට සෞඛ්‍ය සේවාවේ පහසුකම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, සුරක්‍ෂා රක්‍ෂණාවරණය, වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, උසස් පෙළ හදාරණ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබා දීම, කෘෂිකර්මාන්තය නවීකරණය ආදී වැඩසටහන් රාශියක් ද ක්‍රියාවට නංවා තිබෙනවා. රට වෙනුවෙන් මෙතරම් සංවර්ධනයක් සිදු කිරීමට මීට පෙර පැවැති කිසිඳු ආණ්ඩුවකට හැකි වුණේ නැහැ.”

    පසුගිය මැතිවරණයේ දී රටේ ජනතාවට ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පොරොන්දුව ඉටු කිරීමේ අභියෝගය තමා බාරගත් බව මෙහිදී අදහස් දක්වමින් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. මෙරට කෝටිපතියන්ට ඇති අයිතිය, සාමාන්‍ය ජනතාවට ලබාදීමට අවංක අවශ්‍යතාවයක් තිබෙන මෙරට එකම දේශපාලනඥයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ද ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. ඉඩම් හිමිකම් නොමැති ජනතාවට මෙන්ම සිද්ධස්ථානවලටත් හිමිකම් ඔප්පු ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව පෙන්වා දුන් ගයන්ත කරුණාතිලක මහතා, අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් සහ උනන්දුව නිසා මේ වැඩකටයුතු සාර්ථක කර ගැනීමට හැකි වී තිබෙන බව පැවසීය.

    තමන් පදිංචි වී සිටින ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට නොහැකි වූ ජනතාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ඉඩම් අමාත්‍යාංශය ආදී ආයතනවලට නිරන්තරයෙන් යාමට සිදුවූ බව පෙන්වා දුන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා, එම ජනතාව මුහුණ දුන් ගැටලූව තේරුම් ගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, රජයේ ඉඩමක වසර 10 ක් පදිංචිව සිටි පුද්ගලයින්ට ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමට උපදෙස් ලබාදුන් බව පැවසීය.
    ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට සැලසුම් කරද්දී ඇතැම් අය ඊට විරෝධය පළ කළ බව පැවසූ පී. හැරිසන් මහතා, කෙතරම් ගැටලූ ඇති වුණත් එම ජනතාවගේ ඉඩම්වලට සින්නක්කර අයිතිය ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

    වර්තමානය වන විට රටේ සංවර්ධනය වෙනුවෙන් වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙන බව පෙන්වා දුන් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය, අනුරාධපුරයේ ජනතාව සඳහා තෙවන වතාවට තවත් ඉඩම් හිමිකම් ඔප්පු 1200 ක් ලබාදීමට කටයුතු කර තිබෙන බව ද පැවසීය.

    මෙම අවස්ථාවට උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි, උතුරු - නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමි ඇතුලූ මහා සංඝ රත්නය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන් යන මහත්වරු ප්‍රධාන දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුලූ විශාල එක්ව සිටියහ.

     

    Latest News