පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමේදී නිසි නෛතික ප්‍රතිපාදන අනුව කටයුතු කරන්න; කොටුව මහේස්ත්‍රාත්

අගෝ 02, 2019

    පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමේදී නිසි නෛතික ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට නිළධාරීන්ට උපදෙස් ලබා දෙන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කල අතර එම නියෝගයේ පිටපතක් නීතිපතිවරයාට ද යොමු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

    සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් අධිකරණයට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට නියෝගයක් ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේය. තහනම් සංවිධානවලට සම්බන්ධ බවට සැකපිට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ විධි විධාන පනත යටතේ රඳවා ප්‍රශ්න කිරිම්වලින් අනතුරුව මාස තුනක රෑඳවුම් නියෝග කාලය ලබන ඉරිදා (04) දිනට ඉක්ම යාමට නියමිත බව දැනුම් දෙමින් කොල්ලුපිටිය පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එම සැකකරු සම්බන්ධයෙන් කිසිම වරදක් අනාවරණය නොවන බැවින් ඔහුට ඇප දීමට විරුද්ධත්වයක් නැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබිණි.

    නමුත්, එම සැකකරු පොලිසියට පැවරි ඇති බලතල ප්‍රකාරව මුදා හැරිමට හැකි බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදි පෙන්වා දුන් අතර චෝදනා නැති පුද්ගලයකු සම්බන්ධයෙන් නියෝග ලබාදීමට අධිකරණයට බලයක් නැති බවත්, කිසියම් වරදක් සිදු කර නැති පුද්ගයකු අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදි කොල්ලුපිටිය පොලිසියෙන් විමසා සිටියේය. නීත්‍යානුකූල නොවන ඉල්ලීම් සිදු කිරිමෙන් අධිකරණය අපහසුතාවයට පත් නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    Latest News