බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්

අගෝ 02, 2019

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වෙමින් පවතින පීඩන අවපාතයෙන් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා ධීවරයින් දැනුවත් කර ආරක්‍ෂක වැඩපිළිවෙල වහා ක්‍රියාත්මක කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

    සියළු ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාලගුණ තත්වය පිළිබදව ධීවර දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරමින් සිය ජිවිත ආරක්‍ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

    ඉදිරි දින කිහිපය පුරා නිරන්තර අවදානයෙන් සිටින ලෙස සියළු ධීවර රැකියාවේ නිරත සියළු ධීවරන් වෙත ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය විසින් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

    එමෙන්ම ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ, මසුන් මැරීමේ නිරත බහුදින යාත්‍රා මෙම පිඩන අවපාතය පිළිබඳ අවදානයෙන් සිට කාලගුණ අනාවැකි අනුව වහාම ආරක්‍ෂිත ප්‍රදේශ වෙත යොමු වීමට කටයුතු කලයුතු බව ද ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇගවීම් නිවේදනයේ සඳහන්.

    පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55- 65 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකියි.

    ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අනාවැකියේ සඳහන්.

    Latest News