අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8කට ඇප

අගෝ 02, 2019

    බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයට පත්කර සිටි සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කර තිබේ.

    නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම නඩුව විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබිණි.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ නොවන බව දන්වා ඇත.

    ඒ අනුව විත්තිකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සිය අභිමතය ප්‍රකාශ කර ඇති හෙයින් එක් එක් විත්තිකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

    මෙම නඩුවට අදාළව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ ලේඛන සියල්ල රජයේ නීතිඥවරයා විසින් විත්තියේ නීතිඥවරුන් වෙත විවෘත අධිකරණයේ දී බාර දී ඇත. ඉන් අනතුරුව නඩුව අගෝස්තු මස 30 වන දා යළි කැඳවා ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

    බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර ඇත.

    මෙම නඩුවේ විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී යන අය ද ඇතුළත් වේ.

    Latest News