අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ වැඩසටහන් රැසක්

අගෝ 02, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ සිදු කෙරෙන පොදු සංවර්ධන කාර්යයන් කිහිපයක් සඳහා අද (2) දවස පුරා සහභාගී වීමට නියමිතය.

    අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 11 ක ස්ථිර පදිංචිකරුවන් දහසක් සඳහා ඉඩම් හිමිකම්පත් ප්‍රදානය කිරීම අගමැතිතුමාගේ ප්‍රදානත්වයෙන් හෙට (3) පෙරවරුවේ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී සිදු කෙරේ.

    පසුගිය (2018) යල කන්නයේ වගා හානි වූ ගොවීන් වෙනුවෙන් රක්ෂණ වන්දි ප්‍රදානය අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පස්වරුවේ පවැත්වේ.

    ඊට අමතරව මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියට අයත් වන මැද ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකෙරෙන හරස් වේල්ල සඳහා ඉදිකිරීම් සිදුකිරීමට මුල්ගල තැබීම ද අනුරාධපුර පූජා නගරයේ මල්වතු ඔය පටුමග පැරණි සපත්තු පාලම වෙනුවට අලුතින් ඉදිකෙරෙන ද්විත්ත්ව මාර්ග පාලම සඳහා ඉදිකිරීම් ආරම්භ කිරීමට ද අගමැතිවරයා පෙරවරුවේ සහභාගී වේ.

    අනුරධපුරයේ සිදු කෙරෙන මෙම සංවර්ධන කාර්යයන් සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය පී.හැරිසන්, කාන්තා හා ළමා කටයුතු වියලි කලාපීය සංවර්ධන ඇමතිනී චන්ද්‍රානී බණ්ඩාර යන මහත්ම මහත්මීන් අතුළු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා මහ දිසාපති නීතීඥ ආර්.එම්.වන්නිනායක මහතා ද සහභාගී වීමට නියමිතයි.

    Latest News