මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී තමා තනි වී නොමැති බව ජනපති පවසයි (වීඩියෝ)

ජූලි 29, 2019

    මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපතිතුමා පවසයි.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් පාරට බහිද්දි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ දූෂිතයන් ජය පැන් බොන්නට පටන්ගත් බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද (29) පෙරවරුවේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමිනි.
    තමා සියලූ තීන්දු තීරණ ගන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගිමට බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරියා ද උතුන් බුද්ධිමතුන් සියලූදෙනා අද දවසේ මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම නිසි ලෙස ඉටු කිරීමට පෙරට ආ යුතු බව ද කියා සිටියේය.


    “සබරගමුව ලස්සනයි" වැඩසටහන හඳුන්වාදීම සහ කිතුල් සම්බන්ධ ප‍්‍රඥප්තිය එළිදැක්වීම වෙනුවෙන් සබරගමුව පළාත් සභා සංකීර්ණයේ දී මෙම උත්සවය පැවැත්විණි. සබරගමු පළාතත්, සබරගමු ජනතාවත්, ආර්ථිකයත් නංවාලීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ක්ෂේත‍්‍ර 15ක් ඔස්සේ “සබරගමුව ලස්සනයි" වැඩසටහන හඳුන්වා දී තිබේ.

    “සබරගමුව ලස්සනයි" නාම පුවරුව දුරස්ථ පාලකයක් මඟින් නිරාවරණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. මේ වෙනුවෙන් සම්පාදනය කරන ලද ග‍්‍රන්ථය ද සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. “කිතුල - කිතුල" වෙබ් අඩවිය සහ සබරගමුව පළාතේ පාසල් තොරතුරු ඇතුළත් "සිප් තතු" වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    සබරගමුව පළාත් සභාව විසින් කි‍්‍රයාත්මක කරන "අපේ ගෙදර ලස්සනයි" නිවාස ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පවුල් සියයකට නිවාස ඉදිකරගැනිමට අනුග‍්‍රහය දැක්වීමට නියමිත අතර එම නිවාසලාභීන්ට සංකේතවත්ව ලියකියවිලි භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි. අනතුරුව ජනාධිපතිතුමා කිතුල් ආශි‍්‍රත නිෂ්පාදන ඇතුළත් ප‍්‍රදර්ශනය නැරඹීමට ද එක් විය. මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ මාර්ෂල් පෙරේරා, දුෂ්මන්ත මිත‍්‍රපාල, දුනේෂ් ගන්කන්ද, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අතුල කුමාර රාහුබද්ධ යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් ද, සබරගමුව පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් කේ. ඩී. එම්. මාලනී මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ඒ සමඟ සබරගමුව ලස්සනයි වැඩසටහන යටතේ සබරගමුව පළාත් සභාවේ රුපියල් මිලියන 125ක ප‍්‍රතිපාදන යටතේ ඇහැලියගොඩ මහ රෝහලේ ඉදිකරන ලද පස්මහල් ගොඩනැඟිල්ලේ ඇඳන් 120කින් යුත් වාට්ට සංකීර්ණය, ඇහැලියගොඩ ප‍්‍රදේශයේ පරිත්‍යාගශිලින් දෙදෙනෙකුගේ රුපියල් ලක්ෂ 65ක වියදමින් ඉදිකරන ලද නව භික්ෂු වාට්ටු සංකීර්ණ සහ, ව්‍යාපාරික මහතෙකු විසින් රුපියල් ලක්ෂ 50ක වියදමින් ඉදිකරන ලද එක්ස්රේ අංශය ද අද ජනතා අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතිනි. මෙම සංවර්ධන කටයුතු ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා රෝහලේ නිරික්ෂණ චාරිකාවක ද නිරත වෙමින් කාර්ය මණ්ඩල සමඟ සුහද කතා බහක නිරත විය.

    එමෙන්ම සංවර්ධන කටයුතු සඳහා දායක වූ පරිත්‍යාගශීලින්ට ඇගැයීම් සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. ඇහැලියගොඩ මූලික රෝහලේ ඓතිහාසික සංවර්ධනය උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ හිටපු වෛද්‍ය අධිකාරි ශාන්ත අබේවික‍්‍රම මහතා වෙනුවෙන් ද ජනාධිපතිතුමා අතින් ඇගැයීම් සම්මානයක් පිරිනැමිණි.

    ඒ අතර "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ තලාවිටිය සිරි සමන් විද්‍යාලයේ රුපියල් මිලියන 15.89 ක වියදමින් ඉදිකළ ගුරු නිවාසය විවෘත කිරීම සහ මිලියන 22.83ක වියදමින් ඉදිකළ විද්‍යාගාරය, ගණිතාගාරය, පුස්තකාලය, සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගත් අතර සමරු ඵලකය නිරාවණය කර නව ඉදිකිරීම් සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා සිසු කි‍්‍රයාකාරකම් නිරික්ෂණය කිරීමට ද එක්ව විය.

    Last modified on සදුදා, 29 ජූලි 2019 20:08

    Latest News