ගලේවෙල අමානුෂික ඝාතනයක් (වීඩියෝ)

ජූලි 26, 2019

    ගලේවෙල කලාවැව හන්දියේ බස් නැවතුමක නිදාගෙන සිටි පුද්ගලයෙකු ඝාතනය කොට ඇති බව වාර්තාවේ.

    ඊට යාබදව සවිකළ CCTV කැමරා දර්ශන මගින් ඝාතකයා හඳුනාගෙන අත්අඩංගුව ගත් බව ගලේවෙල පොලිසිය ප්‍රකාශ කරයි.

    ගලේවෙල කලාවැව හන්දියේ කුඩා බස් නැවතුමක නිදාගෙන සිටි මේ මිය ගිය පුද්ගලයාට අමානුෂික අයුරින් පහර දී පසුව ගලකින් හිසට පහරදී ඇත. අද (26) අළුයම 2.30ට පමණ මෙම සිද්ධිය සිදුවී තිබේ. මෙම පුද්ගලයා ඉතා අමානුෂික ලෙස ඝාතනය කරන ආකාරයත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඒ අසල බලාසිටින ආකාරයත් ඒ ආසන්නයේ වෙළෙඳ සලක සවිකොට තිබූ CCTV දර්ශනවල පැහැදිළිව සටහන්ව ඇත.

    මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගලේවෙල නගරයේ කාලයක් තිස්සේ විවිධ වෙළඳසැල්වල කම්කරු වැඩ කරමින් හා නගර මධ්‍යයේ වැසිකිළි පද්ධතිය සෝදා පවිත්‍ර කිරීම් කටයුතු සිදුකරමින් සිටි රත්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

    මෙම පහර දීම සිදු කර ඇත්තේ මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දඹුල්ල බස් නැවතුම්පලේ වේලා සටහන්කරුවෙකු ලෙස කටයුතු කරන අයකු බව රූපරාමු පරීක්ෂා කිරීමේ දී හඳුනාගත් බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ද හිසේ ඇති තුවාල හේතුවෙන් ගලේවෙල රෝහලට ඇතුලත් කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

    ආරක්ෂක කැමරාවේ සටහන්ව ඇති පරිදි මෙම මියගිය පුද්ගලයා බස් නැවතුම්පොළේ නිදාගෙන සිටියදී මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරු පොල්ලක් රැගෙන ගොස් එම ස්ථානයෙන් මෙම පුද්ගලයා පහරදී පලවා හරින ආකාරයද නැවත එම පුද්ගලයා සහ වේලා සටහන්කරු අතර පොරබැදීමක් සිදුවන ආකාරයද පැහැදිළිව සටහන් වී තිබේ.

    මෙම පහර දීම පිළිබඳව රූපරාමු පරීක්ෂාකර බැලීමේදී වෙනත් පුද්ගලයන් දෙදෙනෙකු ඒ දෙස බලාගෙන සිටින බවත් බේරා ගැනීමට හෝ මැදිහත්වීමක් හෝ සිදු නොකොට බැහැරට යන ආකාරයත් දැක ගත හැකිය.

    වෙලා සටහන්කරු මෙම මියගිය පුද්ගලයා බස් නැවතුම්පොළේ නිදාගෙන සිටීම නිසා උරණ වී මෙම පහරදීම සිදු කොට ඇති බවත් ඔහු අධික බීමතින් එම අවස්ථාවේ සිට ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Last modified on සිකුරාදා, 26 ජූලි 2019 14:49

    Latest News