ළඟම පාසල-හොඳම පාසල ක්‍රියාත්මකයි; පහසුකම් රහිත පාසල් බැහැ

ජූලි 24, 2019

    පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වාදෙන ලද විශාලතම ව්‍යාපෘතිය වන ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන ක්‍රියාත්මකයි.

    එසේ තිබියදීත් පහසුකම් රහිත ව, විවිධ දුෂ්කරතා මධ්‍යයෙහි කිසිදු පාසලක් පවත්වාගෙන යාමට ඉඩ නොතැබිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

    ළඟම පාසල-හොඳම පාසල සංවර්ධන වැඩසටහන මඟින් පාසල්වල භෞතික හා යටිතල පහසුකම් මෙන් ම මානව සම්පත් සංවර්ධනය කිරීමට අවශ්‍ය පාසල් සමීක්ෂණය 2015 වසරේ දී සිදුකරනු ලැබූ අතර, ඒ සඳහා සියලු ම අධ්‍යාපන කලාපවල සංවර්ධන හා සැලසුම් අධ්‍යක්ෂවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවා පාසල් තෝරාගැනීමට අදාළ නිර්ණායක හා උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව, ඔවුන් විසින් තෝරාදුන් පාසල් ‘ළඟම පාසල-හොඳම පාසල’ වැඩසටහනට ඇතුළත් කර මේ වනවිට සංවර්ධන කටයුතු සිදුකරමින් පවතී.

    එහෙත් සංවර්ධනය කළ යුතු පාසල් හඳුනාගැනීමේ සමීක්ෂණය සිදුකර දැනට වසර පහක (5) පමණ කාලයක් ගත ව ඇති බැවින් එවකට සංවර්ධන අවශ්‍යතා නොපැවතිය ද, මේ වනවිට එවන් අවශ්‍යතා මතුව ඇති පාසල් නැවතත් හඳුනාගත යුතුව ඇත. ඒ අනුව ඉදිරියේ දී ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ එම පාසල් ද සංවර්ධන කිරීමට පියවර ගැනීම සඳහා අදාළ පාසල් සම්බන්ධ තොරතුරු තමා වෙත වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    මේ වනවිට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි පාසල් 9065ක, රුපියල් මිලියන 65000 ක මූල්‍ය ආයෝජනයකින් සංවර්ධන ව්‍යාපෘති 18000 ක් පාදක ව සංවර්ධනය කාර්යයන් සිදුකෙරේ. ඒ අතරින් වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 12000ක් වන අතර, නව ගොඩනැගිලි 900ක් මේ වනවිට ඉදිකිරීම් අවසන් කොට සිසු අයිතියට පත්කර ඇත.

    Latest News