වනාතවිල්ලුව-ලැක්ටෝ වත්ත ලඟ රැඳුනු 6ක ගෙන් සැක පිට ප්‍රශ්න

ජූලි 24, 2019

    පුත්තලම - වනාතවිල්ලුව - ලැක්ටෝ වත්තේ ආසන්නයේ සැක කටයුතු භාණ්ඩ තොගයක් ප්‍රවාහන කළ පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

    ලැක්ටෝ වත්තට ආසන්නයේ අත්හැර දැමූ කුකුළු ගොවිපලක තිබූ බඩු බාහිරාදිය නැවත රැගෙන යාමේදී ඒ පිළිබඳ සැක කළ ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කර ඇත. පොලිසිය කළ පරීක්ෂාවේදී ඔවුන් සතුව ප්ලාස්ටික් බැරල් ඇතුළු කුකුළු ගොවිපලට ප්‍රයෝජනයට ගන්නා භාණ්ඩ සොයා ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.

    එසේ සැක සහිත ලෙස රැඳී සිටි පුද්ගලයින් හය දෙනෙකු අද (24) අලුයම සැක පිට රඳවාගත් බව වනාතවිල්ලුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. රඳවාගත් පිරිස පවසන්නේ තමන් වත්තේ පොල් ගස්වලට වතුර දැමීම හා කුකුළු ගොවිපොළේ වැඩ කටයුත්තක් සඳහා පැමිණ සිටි බවයි. වත්තේ හිමිකරු හා ඔහුගේ පුතුන් තිදෙනකු ද මේ හය දෙනා අතර සිටී.

    ඉකුත් ජනවාරි 16 වැනිදා ලැක්ටෝ වත්තේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අන්තවාදී සංවිධානයකට අයත් බව කියන පුපුරණ ද්‍රව්‍ය සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය, ඩෙටනේටර් ඇතුළු උපකරණ විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.

    සැකකරුවන් සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Latest News