දීගු කලක් උසස්වීම් නොලැබූ පොලිස් නිලධාරින්ට එකවර උසස්වීම්

ජූලි 19, 2019

    පොලිස් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණිවල නිලධාරින් බඳවා ගැනීමට හා උසස්වීම් ලබාදීමට අදාලව විධිමත් කි‍්‍රයා පටිපාටියක් ස්ථාපිත කෙරේ.

    දීර්ඝකාලයක් පුරා පොලිස් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණිවල නිලධාරින්ට අදාළ බඳවාගැනීම් හා උසස්වීම් නිසි ක‍්‍රමවේදයකට හා නිසි කාල රාමුවකට අනුව සිදු නොවූ අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා පසුගිය රැස්වීම් කිහිපයක දී ලබාදුන් උපදෙස් අනුව මෙම පියවර ගෙන තිබේ. බඳවා ගැනීම් හා උසස්වීම්වලට අදාල මෙම නව කි‍්‍රයාපටිපාටියට මේ වන විට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙන අතර එය ඉදිරියේ දී කි‍්‍රයාවට නැංවීමට නියමිතය.

    මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ ද්විතියක ශ්‍රේණිවල නිලධාරින්ගේ බඳවා ගැනීම් හා උසස්වීම්වලට අදාළව ද නව ක‍්‍රමවේදයක් මේ වන විට සකස් කරමින් පවතී. එමෙන්ම දීර්ඝ කාලයක් පුරා උසස්වීම් නොලැබූ පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරික්ෂක තනතුර දක්වා 31,500ක පමණ පිරිසකට කාණ්ඩ කිහිපයක් යටතේ එකවර බල පැවැත්වෙන පරිදි උසස්විම් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවති.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මෙම කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය. පොලිසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින්ගේ සුබසාධන කටයුතු පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර පොලිස් සේවයේ කළමණාකාර සහකාර, කාර්යාල කාර්ය සහයක, භාෂා පරිවර්තක වැනි පුරප්පාඩුව පවතින තනතුරු සඳහා බඳවා ගැනීම් මෙන්ම උතුරේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

    එමෙන්ම කොටුව පොලිස් මූලස්ථානය ඉදිකිරිම සඳහා වූ ඉඩම පවරා ගැනීමට අදාළ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. පසුගිය යුද සමයේ දී දිවි පිදු 25,000ක් පමණ වූ පොලිස් නිලධාරින් ද, අපි වෙනුවෙන් අපි, අරමුදලට ඇතුළත් කර ගනිමින් ඒ හරහා එම පවුල්වල සාමාජිකයන්ට නිවාස ඉදිකරදීමේ වැඩසටහනක් පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.

    වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න යන මහත්වරුන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 19 ජූලි 2019 19:41

    Latest News