ජනාධිපතිවරණය පැවැත්වීම තීන්දුයි; නිශ්චිත දිනය සභාපතිගෙන් (වීඩියෝ)

ජූලි 15, 2019

    ජනාධිපතිවරණය නියමිත කාලසීමාවේදී පැවැත්වීමට සූදානම් කර ඇතැයි, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ බණ්ඩාරගම පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා...

    “පළාත් සභා ඡන්ද විමසීම ද, ජනාධිපතිවරණය ද කලින් තබන්නේ කියන ප්‍රශ්නයයි දැන් මතුවෙන්නේ. පළාත් සභා ඡන්ද විමසීම කලින් තිබ්බොත් ජනාධිපතිවරණයට බාධාවක් වෙයිද කියන ප්‍රශ්නය දේශපාලඥයන්, මාධ්‍යවේදීන්, පොදු ජනතාව අතර ප්‍රශ්නයක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. පළාත් සභා ඡන්ද විමසීම කලින් ඕනේ කියන මතය අපි දිගු කලක ඉඳන්, පාලන පක්‍ෂයත් එක්ක හැමෝමත් එක්ක කතා කරලා තියෙනවා. මේ අවසාන අවස්ථාවේ වුණත් අපි තවමත් පෙනී සිටින්නේ මැතිවරණ කොමිසන් සභාව පළාත් සභා ඡන්ද විමසීම ජනාධිපතිවරණයට පෙර තියන්න ඕනේ කියන මතය. හැබැයි පළාත් සභා ඡන්ද විමසීම කලින් තිබ්බා කියලා ජනාධිපතිවරණය තියන්න ඒක බාධාවක් වෙන්නේ නැති බව, සෘජුව නොපැකිලව ජනතාවට ප්‍රකාශ කරන්න අපි කැමතියි මැතිවරණ කොමිසන් සභාව වෙනුවෙන්. මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරණය නියමිත කාලසීමාව තුළ එනම් නොවැම්බර් පළමුවැනිදා, දෙසැම්බර් 08 වැනිදාත් අතර පැවැත්වීමට පූර්ණ වෙර යොදා ක්‍රියා කරනවා. නියමිත කාලය තුළ නියමිත පරිදිම ජනාධිපතිවරණය පවත්වන බව ජනතාවට නිසැකවම ප්‍රකාශ කර සිටිනවා “ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

    Last modified on සදුදා, 15 ජූලි 2019 20:26

    Latest News