දුප්පත් ජනතාවගේ ගැටළු විසඳීමට පාලකයින් දුෂ්කරක්ක්‍රියා කළ යුතුයි (වීඩියෝ)

ජූලි 13, 2019

    දුගී දුප්පත් ජනතාවගේ ගැටළු වලට විසඳුම් ලබා දී ඔවුන් ශක්තිමත්ව නඟා සිටුවීම පාලකයින්ගේ වගකීම බවත්, ඒ සඳහා පාලකයින් දුෂ්කරක්ක්‍රියා කර, කැපවීමෙන් ජනතා සේවය ඉටු කළ යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    පසුගිය රජයේ පාලකයින් පොදු ජන සේවය අමතක කර තමන්ට හා තම පවුලට සේවය කර ගත් බව අමත්‍යවරයා පෙන්වා දුන්නේ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහනේ 2536, 2537 හා 2538 යන ගම්මාන සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (13) එක් වෙමිණි.

    ජනතාවගේ කර මතින් බලයට පැමිණ මන්දිර වලට ගියපසු බලයට පැමිණි ආකාරය ඔවුන් අමතක කළ බවද ඔහු කියා සිටියේය.  රටේ බලගතු වගකීමේ හැන්ද ජනතාව තමන්ට ලබා දුන්නොත් එම වගකීම අකුරටම ඉටු කරමින් අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කර පොදු ජනතාවගේ බඩකට පුරවන යුගයක් ඉදිරියේදී නිර්මාණය කරන බව ඔහු එහිදි පොරොන්දු වුයේය.

    “සුරසවිගම”, “සත්සවිගම”, සහ “සහසිරිගම” ලෙස මෙම උදාගම්මාන නම් කර ඇති අතර ඒවා හම්බන්තොට දිස්ත්‍රීක්කයේ, තංගල්ල, විතාරන්දෙණිය, උඩුවිලගොඩ ප්‍රදේශයේ ඉදිකෙරේ. සියලු පහසුකම් සහිතව මෙම උදා ගම්මාන 3 හි ඉදිවන නිවාස සංඛ්‍යාව 78 කි. එක් ප්‍රතිලාභී පවුලක් සඳහා පර්චස් 10 ඉඩම් කැබැල්ලක් නොමිලේ ලබා දේ.

    තංගල්ල ප්‍රදේශයේ පවතින ඉඩම් හිඟය හේතුවෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ටෙන්ඩර් පටිපාටීන්ට අනුකූලව මෙම ඉඩම් පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන ජනතාවට නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත.

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 21:29

    Latest News