වෛද්‍ය ෂාෆි ලබන 25 දක්වා යළි රිමාන්ඩ් (වීඩියෝ)

ජූලි 11, 2019

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටි වෛද්‍ය ෂාෆි සෙහාබ්දින්ගේ රැඳවුම් නියෝග අහෝසි කොට ලබන 25 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද නියෝග කෙරිණ.

    ඒ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතාගේ නියෝගයක් අනුවයි. වෛද්‍ය ෂාෆි සිද්ධිය සම්බන්ධ නඩුව අද දෙවැනි දිනටත් විභාගයට ගනු ලැබීය. ඔහුගේ නීතිඥවරුන් කියා සිටියේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසයි. එහෙත්, මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. ඇප ලබාදුනහොත් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බැවින් ඇප ලබාදිය නොහැකි බවයි. සිද්ධියට අදාළ මව්වරුන් පරීක්‍ෂා කිරීමට යොදා තිබූ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලය ද අහෝසි කෙරිණ. ඒ, වෙනුවට, වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත පරීක්‍ෂණ මණ්ඩලයක් පත් කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයාට නියම කෙරිණ. මීළඟ නඩු වාරයේ දී ෂාෆි වෛද්‍යවරයාගේ වත්කම් පිළිබඳ තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා තක්සේරු දෙපාර්තමේන්තුවට නියෝග කළේය. කුරුණෑගල ප්‍රදේශයේ මව්වරුන් පිරිසකට වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය ෂාෆිට චෝදනා එල්ල වී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 ජූලි 2019 22:48

    Latest News