ජාතික ආරක්ෂාවට වෘත්තික උපදේශක මණ්ඩලයක්: සභාපතී පුටුව අමුණුගමට (වීඩියෝ)

ජූලි 09, 2019

    ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

    මෙම වෘත්තික උපදේශක මණ්ඩලයේ සභාපති ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා පත්කර ඇත. එහි සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැව්, නීතිඥ ජාවිඞ් යුසුෆ්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරේන් රාඝවන්, යන මහත්වරු කටයුතු කරති.

    ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලය පළමු වරට අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැමහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස් විය.

    අදහස් සහ යෝජනා ස්වාධීනව ඉදිරිපත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙම උපදේශක මණ්ඩලය සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා එහිදි සඳහන් කළේ ය. 

    මේ අතර ජනාධිපතිතුමා අද දහවල් පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගියේය. සිය පුතණුවන්ගේ උපාධි ප‍්‍රදානෝත්සවයට එහිදි සහභාගීවීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 09 ජූලි 2019 19:30

    Latest News