මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කිසිදු සන්නිවේදනයක් ලැබී නොමැති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණය කියයි -

ජූලි 05, 2019

    මොනයම් හෝ සිරකරුවෙකු මරණීය දණ්ඩනයට ලක් කළ යුතු දිනය, වේලාව සහ ස්ථානය දැක්වෙන ජනාධිපතිවරයාගේ සන්නිවේදනයක් මේ දක්වා තමන් වෙත ලැබි නොමැති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටී.

    එමෙන්ම තමන් භාරයේ සිටින මොනයම් හෝ සිරකරුවකු මරණීය දණ්ඩනයට ලක්වීමේ අත්‍යාසන්න තත්ත්වයක් මෙම අවස්ථාව වනවිට උද්ගතවී නොමැති බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටී.

    ජනාධිපතිවරයා ගේ නියමය පරිදි සිරකරුවන් හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය වැළැක්වමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් අද තුන්වන දිනටත් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම දැනුම්දීම සිදු කර සිිටියේය.

    අදාළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යළි කැඳවනු ලැබීය.

    කෙසේ වෙතත් පෙත්සම්කාර මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරාන් ඇන්කටෙල් මහතා අධිකරණයට දන්වා සිටියේ ඉකුත් 25 වැනි දින ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයේ දී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටින සිරකරුවන් හතර දෙනකුගේ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් තබා ඇති බවත් එය ක්‍රියාත්මක කළයුතු දිනය දන්වා යවා ඇති බවත් ප්‍රකාශ කළ බව කියා සිටියා.

    පෙත්සම්කාරු මෙම අධිකරණය හමුවට පැමිණියේ මෙම අනතුරු දායක තත්ත්වය හමුවේ බවත් නීතිඥ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

    Latest News