දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර 24 ක සිරදඬුවමක්

ජූලි 05, 2019

    අල්ලස් චෝදනා වලට වරදකරු කෙරුණු දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ මහතාට ( අත කොටා) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ දින බරපතල වැඩ සහිත වසර 24 ක සිරදඬුවම් හා දඩ නියම කරන ලදී. එම සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් ලක්ෂ හතරක දණ්ඩන මුදලක් ද නියම කරන ලදී.

    එමෙන්ම පැමිණිලිකාරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන බවයි විනිසුරුවරයා විත්තිකරුට නියෝග කර සිටියේ.

    2001 වසරෙදී දැරණියගල ප්‍රදේශයේ පදිංචි නයනා තුෂාරි නැමති කාන්තාවකගේ ඉඩමට අදාල වීදි රේඛා සහතිකය ලබාදීම සඳහා විත්තිකාර දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් රුපියල් ලක්ෂ 5 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ හතරක් එම ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරී සිරිල් අභයවික්‍රම මාර්ගයෙන් ලබා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබිණ.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුවක් ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී තිබෙන බව ප්‍රකාශ කර සිටියේය.

    ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම් හා දඩ මුදල් ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා දැනුම් දී ඇත්තේ.

    Last modified on සදුදා, 08 ජූලි 2019 11:00

    Latest News