රටේ යහපත් පාලනයකට මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මගපෙන්වීම ඉතා වැදගත් - ජනපති (වීඩියෝ)

ජූලි 03, 2019

    පෙර රජ දවස මෙන් රටේ යහපත් පාලනයක් ගෙන යාමට නම් මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මගපෙන්වීම අනුව කටයුතු කිරීම ඉතා වැදගත් අතර එදා මෙන් අද ද තමන් එම ප‍්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ උඩරට අමරපුර ශාසනජෝතිකා කාරක සංඝ සභාවට අයත් වරාතැන්න මහවැලි නදී තීරයේ සිරිමහ බෝධි උදකුක්ඛේප සීමාමාලකයේ ඉදිකරන ලද සදහම් මැදුර සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට අද (03)පස්වරුවේ එක් වෙමිනි.

    උඩරට අමරපුර ශාසනජෝතිකා කාරක සංඝ සභාවට අයත් මෙම සිරිමහ බෝධි සීමාමාලකයට අවශ්‍ය තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2006 වසරේ දී ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව කටයුතු කරද්දි මුල් ගල් තැබිණි. සියලූ දායකකාරකාදීන්ගේ මූල්‍ය දායකත්වයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ශ‍්‍රම දායකත්වයෙන් මෙහි ඉදිකිරීම් සිදු විය.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සම්බුද්ධ ශාසනයේ ජීවය වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට පනවා ඇති විනය ශික්ෂාපද සමූහය බවයි. දේවානම්පියතිස්ස මහරජතුමාගේ අවධියේ සිටම සිංහල නරපතින් සම්බුදු සසුන ස්ථාපනය කිරීමටත්, උපසම්පදාව යළි පිහිටුවීමටත් රාජ්‍ය අනුග‍්‍රහය ලබා දුන් බව සඳහන් කළ ජනාධිපතිතුමා එමඟින් මෙරට ධර්මද්වීපයක් සහ ධර්ම රාජ්‍යයක් ලෙස වසර දහස් ගණනක් තිරසරව පැවතෙන බව ද සඳහන් කළේය. වසර දහස් ගණනක් පුරා ගරුතර මහා සංඝරත්නය ඈත පිටිසර දුෂ්කර ගම්මානවල වාසය කරමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අතර එබැවින් ශ්‍රී ලාංකික සමාජය ආර්ථික, සාමාජයීය මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද දැහැම් සමාජයක් බවට පත් වූ ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර සදහම් මැදුර විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    ශාසනජෝති කාරක සංඝ සභාවේ කාරක සංඝ සභික උඩරට අමරපුර පාර්ශ්වයේ ප‍්‍රධාන සංඝ නායක වත්තේගම ධම්මාවාස නාහිමි වෙත සන්නස්පත‍්‍ර පිළිගැන්වීම උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කළ අතර ජනාධිපතිතුමා ප‍්‍රධාන සංඝ නායක හිමිපාණන් වහන්සේ වෙත විජිණි පත පිළිගැන්වීය.

    අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පුණ්‍ය උත්සවය පැවැත්වුණු අතර, ශාසන ජෝතික කාරක සංඝ සභාවේ කාරක සංඝ සභික පූජ්‍ය වත්තේගම ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ, උඩරට අමරපුර නිකායේ ලේඛකාධිකාරි පූජ්‍ය මාදිපොල ධම්මික නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පුණ්‍ය උත්සවයට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 03 ජූලි 2019 21:08

    Latest News