“ළඟම පාසල - හොඳම පාසල” ගොඩනැගිලි 250ක් සිසු අයිතියට (වීඩියෝ)

ජූලි 04, 2019

    පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටට දායාද කරන “ළඟම පාසල - හොඳම පාසල” වැඩසටහනේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් රටපුරා තවත් පාසල් ගොඩනැගිලි 250ක් හෙට (4) සිසු අයිතියට පත්කෙරේ.

    අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව එදා මෙදාතුර මෙරට ඉතිහාසයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දී ඇති දැවැන්ත ම ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැංවෙන, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පාසල්වල ඉදිකළ ගොඩනැගිලි 250ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක්කිරීමට නියමිතයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය නීතීඥ, අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ සහභාගීත්වයෙන් හෙට පෙරවරු 10.00 ට පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී මෙම ජාතික මහෝත්සවය පැවැත්වේ.

    මෙම වැඩසටහනෙහි පළමු අදියර යටතේ සංවර්ධන ව්‍යාපෘති 200ක් එකවර විවෘත කිරීම පසුගිය මාර්තු මාසයේ දී සිදුකෙරුණු අතර, හෙට ක්‍රියාත්මක වන්නේ එහි දෙවැනි අදියරයි. දෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 4500ක මූල්‍ය ආයෝජනයක් සිදුකර ඇති අතර, හෙට දින සිසු අයිතියට පත්වන පාසල් ගොඩනැගිලි අතර, ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථාන 68ක්, පන්ති කාමර ගොඩනැගිලි 52ක්, කණිෂ්ඨ ද්විතීයික විද්‍යාගාර 22ක්, විදුහල්පති නිල නිවාස 31ක්, ගුරු නිවාස 32ක්, තාක්ෂණික ගොඩනැගිලි 34ක්, සෞන්දර්ය ඒකක 1ක්, ආපන ශාලා 9ක් සහ දන්ත ශල්‍යාගාර 3ක් ඇතුළත් වේ.

    ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ වැඩ නිමකිරීමට අපේක්ෂිත 18000ක් වන සමස්ත සංවර්ධන ව්‍යාපෘතීන්ගෙන් වැඩ අවසන්ව ඇති ව්‍යාපෘති සංඛ්‍යාව මේ වනවිට 12000ක් පමණ වේ. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන වෙනුවෙන් වෙන් කර ඇති සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 65000ක් වේ.

    මීට සමගාමී ව පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නව දේශන ශාලා සංකිර්ණය, සුහුරුපන්ති කාමර හා ශ්‍රවනාගාරය විවෘත කිරීම ද මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරිමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 07:44

    Latest News