පූජිත් සහ හේමසිරි ලබන 09 තෙක් රිමාන්ඩ් (වීඩියෝ)

ජූලි 03, 2019

    පාස්කු දින ප්‍රහාර වලක්වා නොගැනීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ලබන 09 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

    පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මිනීමැරුම් හා දේපළ හානි සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු සම්බන්ධයෙන් වූ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ලබන 09 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    එදින තෙක් මෙම සැකකරුවන් රිමාන්ඩ් භාරයට තැබීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එදින ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් ද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

    අද(03) මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ යළි ලැබිණි.

    එහිදී විමර්ශන සිදු කරන රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු දක්වමින් අප්‍රේල් මස 21 වන දින එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඉකුත් අප්‍රේල් මස 9 වනදා පැවති ආරක්ෂක බලධාරීන්ගේ රැස්වීමකදී කරුණු අනාවරණය කර තිබූ බව ප්‍රකාශ කළේය.

    ඊට අමතරව එම ප්‍රහාරය සහ ඊට සහභාගි වන පුද්ගලයින් පිළිබඳව අප්‍රේල් 18, 19 ,20 යන දිනවල මෙන්ම ප්‍රහාරය එල්ල වූ දින පෙරවරුවේ ද රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා විසින් පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය දැනුවත් කිරීමට කටයුතු කළ බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය. එහෙත් මෙවැනි නිවැරදි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට පොලිස්පතිවරයා කිසිදු පියවරක් නොගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙවැනි විශ්වාසකටයුතු තොරතුරු ලැබී තිබියදී ඒ අනුව කටයුතු කරමින් මෙම ප්‍රහාරය සඳහා පැමිණීමට නියමිතව සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා කටයුතු නොකළ බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එමෙන්ම ප්‍රහාරයට ඉලක්ක වන පුද්ගලයින් ඊට නතු වීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු නොකළ බව ද පෙන්වා දුන්නේය.

    එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබුණු විගස ඒ පිළිබඳව ජනාධිපතිවරයා ,අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ,ත්‍රිවිධ හමුදාපතිවරු ,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වැනි පුද්ගලයින්ගේ දැනුවත් කිරීමට පොලිස්පති වරයා කටයුතු නොකළ බවයි.

    මෙවැනි ප්‍රහාරයක තොරතුරු පිළිබඳව ආගමික නායකයන් දැනුවත් කිරීමට හැකියාව තිබුණද එය ද පොලිස්පතිවරයා විසින් ඉටුකර නොමැති බවයි ඔහු සඳහන් කළේ.

    මෙම ප්‍රහාරය එල්ල වන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හරහා ජන මාධ්‍ය ඔස්සේ පොදු ජනතාව දැනුවත් කිරීමට හැකියාව තිබුණ ද එය ද පොලිස්පතිවරයා ඉටුකර නොමැති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

    ඊට අමතරව පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කොට මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකියාවක් තිබුණද ඒ කිසිවක් කිරීමට පොලිස්පතිවරයා කටයුතු නොකළ බව පෙන්වාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඔහු විසින් සිදු කළේ මෙම තොරතුරු තමන් යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනෙකු වෙත යොමු කිරීම පමණක් බව ද කියා සිටියේය.

    එම යොමු කිරීම පිළිබඳව පොලිස්පතිවරයා විසින් කිසිදු පසු විපරමක් සිදුකර නොමැති බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් මෙහිදී පෙන්වා දුන්නේ.

    මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ ප්‍රහාරය එල්ල වූ දිනට පසු දින ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කළ කොමිසමක් මගින් භාරදුන් අතුරු වාර්තාවට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

    එම විමර්ශන වාර්තාව මගින් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය සාපරාධී නොසැලකිල්ලෙන් කටයුතු කර මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකර ඇති බවට නිර්දේශයක් යොමු කර තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

    එම නිර්දේශ පදනම් කරගෙන මෙම අපරාධ විමර්ශනය ආරම්භ කළ බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ.

    මෙහිදී මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්නයක් මතු කරමින් මෙම ජනාධිපති කොමිසම පත් කරනු ලැබුවේ කවර පනතකින් දැයි විමසා සිටියේය.

    ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ එය පනතක් යටතේ ස්ථාපිත කළ කොමිසමක් නොවන බවයි.

    මෙම ප්‍රහාරය සිදු වූ ආකාරය පිළිබඳව තමාට කරුණු දැනගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කළ බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

    හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් මෙම ප්‍රහාරය පිළිබඳව නිශ්චිතව තොරතුරු සඳහන් කිසිදු ලිපියක් තම සේවාදායකයන්ට ලැබී නොතිබූ බව ප්‍රකාශ කළේය.

    මෙම ප්‍රහාරය පිළිබඳව මුලින්ම තොරතුරු ලැබෙන්නේ අප්‍රේල් මස 04 වනදා ඉන්දියාවෙන් බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන පවත්වා තමන් වෙතද ප්‍රතිචාර දක්වන ලෙස එම ඉන්දීය ලිපිය තුලින් දන්වා තිබූ බව කියා සිටියේය.

    මෙම ලිපිය ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මැන්ඩිස් මහතා විසින් අප්‍රේල් මස 09 වනදා හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත ලබාදී තිබූ බවත් එය වැඩිදුර කටයුතු කිරීම සඳහා ප්‍රනාන්දු මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමුකළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

    තම සේවාදායක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත රාජ්‍ය බුද්ධි සේවය විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලිපි නිකුත් කර තිබු බව සඳහන් කළ ද එම ලිපි කිසිවක මෙම ප්‍රහාරය නිශ්චිතව සිදුවන බව සඳහන් වී නෙතිබු තිබූ අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් එම ප්‍රහාරයට සූදානම් වන්නේද යන්න පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බව එම ලිපි වල සඳහන්ව තිබූ බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

    මෙවැනි තහවුරු නොකළ තොරතුරු පදනම් කරගෙන මම සේවාදායකයා පාස්කු ඉරිදා දේව මෙහෙය නැවැත්වීමට කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙවැනි ප්‍රහාරයක් වළක්වාගැනීම සඳහා හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත් එය සිදුකළ හැක්කේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට පමණක් බවත් සඳහන් කර සිටියේය.

    රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා කිසිදු අවස්ථාවක ම සේවාදායකයින් දෙදෙනාට බුද්ධි තොරතුරු ලබා නොදෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඔහු තොරතුරු වාර්තා කරන්නේ ජනාධිපතිවරයාට පමණක් බවද අධිකරණය හමුවේ අවධාරණය කළේය.

    මෙම තත්වය යටතේ තම සේවාදායකයන්ට එරෙහිව මිනී මැරුම් චෝදනා එල්ල කිරීමට තරම් සාධාරණ සාක්ෂි කිසිවක් නොමැති බැවින් ඔවුන් ඇප මත මුදා හරින මෙන් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

    එම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 09 වනදා ප්‍රකාශයට පත් කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේය.

    මෙම ඇප ඉල්ලීමට අදාළ ලිඛිත සැලකිරීම් තිබේනම් ඒවා ලබන 05 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසයි මහෙස්ත්‍රාත් වරිය දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේ.

    රෝහල් ගතව සිටීම හේතුවෙන් සැකකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබූ අතර ඔවුන් ලබන නව වනදා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

    Last modified on බදාදා, 03 ජූලි 2019 21:18

    Latest News