ජපන් රැකියා දෙන බවට මුදල් වංචා කළ සැකකරු දැලේ

ජූලි 03, 2019

    ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පොල්පිතිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මුහුණුපොත හරහා පළකරන ලද දැන්වීමක් අනුව ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් රු.620,000.00 ක මුදලක් ලබාගෙන ඇත්තේ අම්බලන්ගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකුගෙන් වන අතර, සැකකාර පුද්ගලයා තලාකොළ වැව, පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි එදිරිවීර ආරච්චිලාගේ දර්ශන එදිරිවීර නොහොත් සිරිවර්ධන මුදියන්සේලාගේ මධුෂංක සිරිවර්ධන යන නමින් පෙනී සිටි අයෙකි. මොහු විසින් අදාල මුදල බැංකුවක විශේෂිත ගිණුමක් අරඹා එම ගිණුමට බැර කර ඒ සඳහා ඩෙබිට් කාඩ්පතක් සකසා අදාල සැකකරු වෙත ලබා දෙන ලෙසට උපදෙස් ලබා දී ඇත.

    උපාය දූතයින් යොදවා මෙම විමර්ශනය සිදුකළ අතර, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රාජ්‍ය බැංකුවකට අයත් මාස්ටර් කාඩ්පතක්, බැංකු පොතක්, ව්‍යාජ හැදුනුම්පතක්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති හැදුනුම්පතක් හා තවත් ලිපි ලේඛන කිහිපයක් ද පොලිස්භාරයට ගෙන ඇත.

    මෙම සැකකරු 2019.06.29 වන දින අත්අඩංගුවට ගෙන කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019.07.12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    මෙම වැටලීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාර මහතාගේ උපදෙස් පරිදි පොලීස් පරීක්ෂක ආර්.පී.කේ.යූ.රාජපක්ෂ මහතා හා කාර්යාංශ නිළධාරී රොඩ්නි වනිගසේකර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්වූහ.

    Latest News