මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය දෙන්නේ මතු පරපුර වෙනුවෙන් - ජනපති (වීඩියෝ)

ජූලි 01, 2019

    ජීවිත අවදානම නොතකා තමා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙන්නේ ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් බව ජනාධිපතිතුමා ප්‍රකාශ ක‍රයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුළුව අමතමිනි.

    ජාතියක් විනාශ කිරීමට හැකි පහසුම දේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා උතුම් ශ්‍රී ලංකා මාතෘ භූමිය ද තවත් මෙක්සිකෝවක් වීමට ඉඩ නොතබා මතින් නිදහස් රටක් සංකල්පය ප්‍රවර්ධනයටත්, ව්‍යාප්තියටත් කටයුතු කරමින් රටත්, ජාතියත් ගලවා ගැනීමට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින්, පාසල් සිසුන් ඇතුළු සියලු පුරවැසියන් තම වගකීම් ඉටු කළ යුතු බව ද ප්‍රකාශ කළේය.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ගත් තීරණය හමුවේ ඇතැම් ජාත්‍යන්තර සංවිධාන ද අද ශ්‍රී ලංකාවට තර්ජන එල්ල කරමින් සිටින අතර, රටේ ආර්ථික සංවර්ධනයට ජාත්‍යන්තර සංවිධානවල සහය අවශ්‍ය නමුත් රටේ ස්වාධීනත්වයට අත ගැසීමට හෝ එම ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල කිරීමට එම කිසිවෙකුට අයිතියක් නොමැති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    නිීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු ද මේ වන විට රහසක් නොවන අතර මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගැනීමට දේශපාලනඥයන් කී දෙනෙකු තම වගකීම ඉටුකරනවාදැයි අද ප්‍රශ්න සහගත බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය අතර සම්බන්ධතාවය ද පැහැදිලි කළ ජනාධිපතිතුමා කියා සිටියේ පසුගිය අප්‍රේල් 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයට ද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සම්බන්ධතාවක් තිබෙන බවයි.

    මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව පිළියෙල කළ මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තාව ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    මෙතෙක් රටේ පහළ වූ කිසිදු නායකයෙකු ඉටු නොකළ කාර්යභාරයක් ඉටුකරමින් මත්ද්‍රව්‍ය උවදුරෙන් ජාතිය ගලවා ගැනීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර මෙහිදී මහා සංඝරත්නය, මැති ඇමතිවරු ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ දැඩි ඇගැයීමට සහ උපහාරයට ලක් විය.

    මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, රාජ්‍ය නිලධාරින්, පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින්, ප්‍රජා සංවධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයන්, බන්ධනාගාර රැඳවියන්, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පිරිස් මෙන්ම මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරයේ රියදුරන්, රිය සහායකයන් ඇතුළු සමාජයේ විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් විශාල පිරසක් මෙම සමුළුවට සහභාගී වි සිටියහ.

    Last modified on සදුදා, 01 ජූලි 2019 19:40

    Latest News