අර්ධ හානිවන බෝට්ටු සඳහා ද රක්‍ෂණාවරණය ලබාදීමට පියවර (වීඩියෝ)

ජූනි 30, 2019

    ධීවර කටයුතු සඳහා පිටත්ව යන යාත්‍රා සියල්ල නිසි පරිදි රක්‍ෂණය කර තිබීම අනිවාර්ය බව, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

    අනතුරට පත්වන ධීවර යාත්‍රා සඳහා රක්‍ෂණ වන්දි ලබා ගැනීමේදී බරපතල ගැටලු මතුවීම ඊට හේතුවයි. රක්‍ෂණ ආවරණ නොමැති කිසිදු ධීවර යාත්‍රාවකට ධීවර කටයුතුවල නිරතවීමට බලපත්‍ර ලබා නොදෙන බව අමාත්‍යංශය කියා සිටී. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. අම්බලන්තොට, ගුරු පොකුණ ධීවර සමිති සමඟ පසුගියදා පැවති සාකච්ජාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

    රක්‍ෂණය නොකළ ධීවර යාත්‍රා අනතුරට ලක්වූ අවස්ථාවලදී රක්‍ෂණ වන්දි ලබාගැනීමට නොහැකිව ධීවර කාර්මිකයින්, යාත්‍රා හිමිකරුවන් මෙන්ම ධීවර පවුල්වල සාමාජිකයින් ද පත්වන අසීරුතා පිළිබඳ මෙහිදී කරුණු පැහැදිලි කෙරිණ. ගොඩබිමේ දී මෙන්ම මුහුදේ දී සිදුවන අනතුරුවලදී අර්ධ හානිවන බෝට්ටු සඳහා කිසිදු රක්‍ෂණ වන්දියක් නොලැබෙන බව ධීවරයින් මෙහිදී පැවසූහ. අර්ධහානි සඳහා ද රක්‍ෂණවරණය ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ඊට පිළිතුරු දෙමින්, රාජ්‍ය අමාත්‍යවරයා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.

    Last modified on ඉරිදා, 30 ජූනි 2019 19:46

    Latest News