ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක

ජූනි 27, 2019

    ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක පිරිනමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙවැනි යෝධ පියවර ගන්නා දකුණු ආසියාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව ඔහු අවධාරණය කළේය.

    සුහුරු පන්ති කාමර, සුහුරු පාසල් සහ ටැබ් පරිගණක පහසුකම් සලසාලමින් අනාගත ලෝකයට සරිලන පරපුරක් බිහිකරලීමට එක්සත් ජාතික පෙරමුණු රජය කැපවී සිටින බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය, හින්දු සංස්කෘතික ශාලාවේ පැවැති උතුරු - නැගෙනහිර පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සඳහා පත්වීම් පිරිනැමිමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙ බව කියා සිටියේය. පරිගණක ක්ෂේත්‍රයේ රැකියා 90,000 ක පුරප්පාඩු පවතින බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ඒ සියලූ පුරප්පාඩු ශ්‍රී ලාංකිකයන් මඟින් පිරවීම සඳහා පසුබිම මේ අධ්‍යාපන විප්ලවය මගින් සැකසෙන බව ද සඳහන් කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම, අවතැන්වූවන් සඳහා තඹලගමුව ඉදිකරන ලද නිවාස විවෘත කිරීම, කන්නියා - ඉලූප්පෙයිකුලම් මාර්ගය සහ තවත් මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම ඇතුලූ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරිණි.

    මෙහිදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අවතැන්වූ පවුල් 600 ක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් නිවාස හිමිකම් පත් පිරිනැමීම විශේෂත්වයක් විය. එම උත්සවය අමතා අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා කියා සිටියේ වත්මන් රජය යටතේ උතුරු - නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු රැසක් සිදු කර තිබෙන බවත් ඒ වගේම ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට කටයුතු කරනු ඇති බවත් ය.

    අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සඳහන් කළේ උපාධිධාරීන් 22,000 කට පත්වීම් ලිපි ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බවත්, ඒ අය පත් කිරීමේ දී උතුරු නැගෙනහිර - පළාත්වලට වැඩි අවධානය යොමු කළ යුතු බවත් ය. උතුරු - නැගෙනහිර පළාත්වල රැකියා නොමැති තරුණ තරුණියන් විශාල පිරිසක් සිටින බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා, එම තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, ඩී. සිද්ධාර්ථන්, අබ්දුල් මහරුෆ්, ඉම්රාන් මහරුෆ්, තුරෙයි රත්නසිංහම්, සන්දිත් සමරසිංහ, එස්.එම්. තවුෆික් දේශපාලනඥයින් රැසක් සහභාගි වූහ.

     

     

     

    Latest News