සජිත් - බන්දුල යන්න එපා, ඉන්න, අපට වාසියි: IMF සමඟ ගණිත ජිල්මාට් නැහෑ

ජූනි 27, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොවී ඔහු නායකත්වය පිරිනමන ආර්ථික පර්යේෂණ ඒකකය දිගටම පවත්වාගෙන යන ලෙසත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටි.

    එය වත්මන් රජයට වාසිදායක වන බව අමාත්‍යවරයා පැවසීය. ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

    පසුගිය රජය සමයේ දුප්පත්කමේ ප්‍රතිශතය පහළ ගියේ ජන සංඛ්‍යාලේඛන ජිල්මාට් හරහා යනුවෙන් ආර්ථිකය හොල්ලන ප්‍රකාශයක් තමන් සිදු කළ බව, බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති අතර, දින හතක් තුළ එම ප්‍රකාශය ඔප්පු කළහොත් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව සහ නායකත්වය දරණ ආර්ථික පර්යේෂණ ඒකකය වසා දමන බවත් ඔහු පසුගියාද ප්‍රකාශ කළේය.

    දින 7 ක් ඇතුළත නොව පැය 24 ක් ඇතුළත එම චෝදනා ඔප්පු කර සත්‍යය හෙළි කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේය. බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගෙන මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොවී ඔහු නායකත්වය ලබාදෙන ආර්ථික පර්යේෂණ ඒකකය දිගටම පවත්වාගෙන යන ලෙසත්, එය වත්මන් රජයටවාසි දායක වන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    “එතුමා2012 වසරේදී කියනවා මෙරට එක් පුද්ගලයෙකුට රුපියල් 2,500 කට අඩුවෙන් කාලා බීලා සතුටින් ඉන්න පුළුවන් කියා. නමුත් එම වසරේම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුවේ දත්තවල සඳහන් වන්නේ රටේ සිව් දෙනෙකු සිටින පවුලකට මසකට ජීවත් වීම සඳහා රුපියල් 41,444 ක් අවශ්‍ය බවයි. ඒ අනුව එක් පුද්ගලයෙකුට අවම වශයෙන් මාසයකට ජීවත් වීමට රුපියල් 10,361 ක් අවශ්‍යයි. නමුත් එතුමා කිව්වේ රුපියල් 2,500 ක් ප්‍රමාණවත් කියායි. එදා එසේ පැවසූ පුද්ගලයා අද මගේ ප්‍රකාශවලට අභියෝග කරනවා. මා කැමතියි එම අභියෝග භාර ගන්නට.
    පසුගිය රජය දුගී දුප්පත්කම ගැන ව්‍යාජ සංඛ්‍යා ලේඛන හා තොරතුරු නිර්මාණය කර ඉදිරිපත් කළේ රටේ ජනතාව සැනසීමට හා ජාත්‍යන්තරය තුළ ප්‍රසිද්ධියක් ලබා ගැනීමටයි. මා කැමතියි එය සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න. මෙයින් ඔබට තේරුම් යාවි ඔවුන් සිදුකළ අංක ගණිත ජිල්මාට් එක. මෙරට සමස්ත පවුල් ප්‍රමාණයෙන් දළ වශයෙන් 28% ත් 31% ත් අතර ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභ ලබනවා. නමුත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුවේ දත්තවල සඳහන් වන්නේ මෙරට දුප්පත්කමේ ප්‍රතිශතය 6.5 % ත් 8.9 % ත්අතර බවයි.

    උදාහරණයක් ලෙස අප 2012 වසර ගනිමු. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුවේ දත්තවලට අනුව එම වසරේ ලංකාවේ සමස්ත පවුල් ගණන ලක්ෂ 52 යි. ඉන් පවුල් ලක්ෂ 15 ක් සමෘද්ධිය ලබනවා. එහි ප්‍රතිශතය 29.4 % ක්. නමුත් එම වසරේ දුප්පත්කමේ ප්‍රතිශතය 6.5 % යි. දුප්පත්කමේ ප්‍රතිශතයට වඩා 23% කට සමෘද්ධිය ලබා දෙනවා. එම නිසා මෙම දුප්පත්කමේ ප්‍රතිශත ව්‍යාජ ඒවා බව මා පැහැදිලිව සඳහන් කරනවා. ඔවුන් මේවා නිර්මාණය කර ඇත්තේ ජනතාව තුළ කෘත්‍රිම සැනසිලිබවක් ඇති කරන්නයි. ඇත්ත කතාව නම් එම වසරේ අපේ රටේ දුප්පත්කමේ ප්‍රතිශතය 29% ක් විය යුතුයි. නමුත් ඔවුන් ඇත්ත කතාව හැංගුවා. ඇත්ත කතාව හංගපු නිසා ලෝකය අපිව දැක්කේ දුප්පත්කම අඩු වුණු රටක් ලෙසයි. ඒ හේතුවෙන් අපේ රටට ලබා දෙන මුදල් ආධාර වෙනුවට රටට ලැබුණේ මුදල් ණයයි. මුදල් ආධාර වෙනුවට රටට ගිනි පොළී ණය අරගෙන, රටේ සෑම පුරවැසියෙකුගේම හිස මත බදු බර පටවා, ඉපදෙන සෑම දරුවෙකුගේම ඒක පුද්ගල ණය බරතාව වැඩි කර, ඔවුන් සිදු කළේ ආර්ථික කළමණාකාරීත්වය නොව ඔලමොට්ටල ක්‍රියාවයි.

    එසේම එතුමා පවසනවා අනාගතයේදී IMF එක හා රාජ්‍ය ආයතන සමඟ මට ගනු දෙනු කරන්න සිදු වනවා කියා. මා මාගේ මාතෘ භූමිය වෙනුවෙන් ඔවුන් මෙන් ජාත්‍යන්තරය ඉදිරියේ කොන්ද නමාගෙන කකුල් දෙක ළග වැඳ වැටී රටට අපහස කරන පුද්ගලයෙකු නෙමෙයි. මා ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන්නේ අපේකම, ගමේකම, සංස්කෘතිය හා සභ්‍යත්වය ආරක්ෂා කරගෙන මෙරට පුරවැසියාට වැඩිම ප්‍රතිලාභයක්, අභිමානයක්, ගෞරවයක් හිමවන ලෙසයි. පාලකයින්ගේ සාක්කුවලට මුදල් ලැබෙන ආකාරයට මා ජාත්‍යන්තරය සමඟ කිසිවිට ගනුදෙනු කරන්නේ නැහැ. හොඳම උදාහරණය නම් ලෝක බැංකුවෙන් පළමුවරට මගේ පියාගේ ජනසවි වැඩසටහන සඳහා ජනසවි භාරකාර අරමුදලට ප්‍රදානයක් ලබා දුන්නා. එය ණයක් නොව ආධාරයක්. අපේ රටේ මානව හිතවාදී, රටට ආදරෙයි කියා ගන්නා පිරිස සූස්කේස් පුරවාගෙන,රටේ කේලාම් ලිපිටික අරගෙන ජීනිවා ගිහින් රටට ආධාර දෙන්න එපා කියූ කාලයකයි මගේ පියාණන් ලෝක බැංකුවෙන් ආධාර ලබා ගත්තේ. මටත් පිටරටවලින් ගිනි පොළියට ණය ලබා ගන්නේ නැතුව මාගේ පියා වගේම රටට ආධාර ලබා ගෙන රට සංවර්ධනය කිරීමේ හැකියාව තිබෙනවා” යනුවෙන් අමාත්‍යවරයා  පැවසීය.

     

     

     

     

     

    Latest News